වීඩියෝවේ මුලින්ම ඇසෙන්නේ, ‘‘හරි, ඔයාලගෙ අරමුණ ඒක නෙවෙයි නම්..“ යනාදී වශයෙන් යම් තරුණයෙක් ඔවුන් සමග යම් සමථශීලී හඬකින් කතා කරන ආකාරයයි. ඒ ...
වීඩියෝවේ මුලින්ම ඇසෙන්නේ, ‘‘හරි, ඔයාලගෙ අරමුණ ඒක නෙවෙයි නම්..“ යනාදී වශයෙන් යම් තරුණයෙක් ඔවුන් සමග යම් සමථශීලී හඬකින් කතා කරන ආකාරයයි. ඒ සමගම තගරි හාන්දුරුවන් වහන්සේ නමක් එතැනට වඩින සේක.
අනතුරුව ‘‘මොනාදාහ්... “ යනාදී වශයෙන් ඉක්බිති ඇසෙන දෙබස හා හැසිරීම වඩාත් සමාන වන්නේ පහර දෙන්නට පනින, කුපිත වූ මී ගවයෙකුගේ හැසිරීමකට ය. ‘‘කොහෙද යන්නෙ..? මේක අල්ලගන්නකො... මුන්ට හොඳට කියල දෙන්න!“ කෙසේ නමුත් මේ පුද්ගලයන් දෙදෙනා සිටින්නේ පන්සල තුළ නොව පාරේ බව පැහැදිලිව පෙනේ. ඒ කියන්නේ, පන්සල ළඟ පාරෙන් පයින් යන්නටත් පන්සලේ හාන්දුරුවන්ගෙන් අවසර ගන්නට ඕනෑ ද?
‘‘කොහෙද යන්නෙ? මොකක්ද?“
කාන්තාව වික්ෂිපත්ව බලා සිටින විට හාමුදුරුවෝ ඇය ඉහළාගෙන සිටින කුඩය උදුරාගෙන විසි කරති.
‘‘මීට පස්සෙ ඇවිල්ල තිබ්බොත් දැනගනියව්..
‘‘මේක බෞද්ධ ගමක්... තොපි මේ බොරු කියල මිනිස්සුන්ව රවට්ට රවට්ට.. මෙහෙ රැවටෙන්න එකෙක් නෑ බොලව්, දැනගනියව් හොඳට.. “
‘‘බෞද්ධයො මංකොල්ල කන කාලකන්නි!“
අනතුරුව තගරි හාමුදුරුවෝ දබරැඟිල්ල දිගු කර තර්ජනය කරති. ගහන්ඩ පනිති. අන්න සිවුරේ ගව්රවය!
අවසානයේ එම තැනැත්තා සහ තැනැත්තිය පාර දිගේ පිටව යනවිට තගරි හාමුදුරුවන් වහන්සේ ද මහා කරුණාවෙන් නොව මහා කෝපයෙන් යුතුව ඔවුන් ව ‘එළවාගෙන‘ යන අයුරු, අහ් සමාවන්න ‘වඩින අයුරු‘ ද වීඩියෝවේ දැක්වේ. එවිට ඒ මුවින් පිටවන ‘බණ පදය“ මෙසේ ය.
‘ආයි එහෙම මේ පැත්තෙ ආවොත් පොලු කඩාගෙන දෙන්නෙ!“
එයින් තම සංහිඳියා මෙහෙවර නිමා නොවන බව ඉවෙන් මෙන් දැනෙන උන්වහන්සේ ‘අපි යං මහත්තයො,.. මෙහෙම්ම යං..“ යැයි කියමින් කෝටියක් සංවර සීලයෙන් යුතුව යතුරුපැදියට ගොඩවන්නාහ. ඉනික්බිති උන් වහන්සේගේ මුවෙන් පිටවන බුදු බණය මෙසේ ය. ‘‘මුං තමයි බුද්ධාගම කන්නෙ!!“
ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරුවනේ, බුද්ධාගමේ දැන් කන්න තරම්වත් දෙයක් ඉතුරුවෙලා නැත. එය ඒ තරමටම කැවිලා ය. ඒ කැවිල්ලට වගකිව යුතු වන්නේත් ඔබවහන්සේලා වැනි චීවරධාරීන් මිස අන්‍යාගමිකයන් නොවේ. අන්‍යාගම්වලට හරවා ගැනීම අපිදු තරයේ හෙළා දකිමු. දුප්පත් ගැමියන් මුදල් දික් කළ විට රැවටෙන බව ඔබවහන්සේම ආකෝශ පරිභව මුඛයෙන් කියති. ඉතින්, පන්සලේ දුප්පත් දායකයන්ගේ දන් වේලෙන් ම සන්තර්පණය වී, දායකයන් ඉඳිකටු ගානට කෙට්ටු වෙද්දී ඒ වේගයට සමානුපාතික ලෙස ආරන දේහධාරීන් වන, දානෙට-බණට-දායක සභාවට සම්මාදම් නොවේ නම් පාංශුකූලයටවත් නොවඩිමියි කියමින් බහිරවයන් මෙන් පන්සල් දේපළේ හතරකොන රැකගෙන සිටින හාන්දුරුවන් වහන්සේලාත් ඉන්න රටක මෙසේ සිදුවීම පුදුමයක් නොවේ. ඒකට ඔබ වහන්සේලා තරහ ගත යුත්තේ අන්‍යාගමිකයන් සමග නොව තමන් වහන්සේලා සමගම ය.
බුදුන් වහන්සේ ලංකාවට බුදු දහම එව්වේ, බුදුන් උපන් ඉන්දියාවෙන් පවා බුදු දහම අතුගෑවී යන විට මේ පුංචි මුතුඇටයේ ජීවත් වන ධාර්මික මිනිසුන් බුදු දහම පෙරටු කරගෙන යන බව දැන සිටි නිසාලු! අඩුම වශයෙන් බුද්ධාගම පෙළපොත්වල ලියා තිබෙන්නේ එහෙම ය. එහෙව් රටක හාමුදුරුවන් ගිහියන්ට බණ කියන්නේ මතු ආත්මයට පින් කරනා හැටි ගැන ය. බුදුන් කියා තිබෙන පරිදි බුදු දහම අනාත්ම බව මේ හාන්දුරුවන් වහන්සේලා අපට නොකියති. ඒ මහා රැවටීම අතරවාරයේ මේ සිද්ධවෙන කුජීත ආගම්වාදී කර්තව්‍යයන්වලට අනුව එදා බුදුන්ටත් අකුරු වැරදුණාදැයි අපට සිතෙයි.
ආගමික පොලිසිය ලංකාවට අලුත් දෙයක් නොවේ. එය පෙර රජ සමයේ පැවති දැඩි මූලධර්මවාදී අන්තවාදීන්ගේ ආගම්වාදී දේශපාලනය විසින් පෝෂණය කරන ලද්දකි. අප ජීවත් වන්නේ ලංකාවේ එවකට සිටි රජ්ජුරුවෝ බුදුහාමුදුරුවන්ගෙ නෑයෙක් යැයි ජනකාන්ත කලාකරුවෙක් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කී තුට්ටු දෙකේ රටක ය. එතකොට දකුණේ ඔය කී මහරජ්ජුරුවන්ගේ ගම් පළාතේ පවතින සුප්‍රකට කතාවකට අනුව එතුමා ඉළන්දාරි කාලයේ ‘දැන ගනියව්, මේ මේ ඉන්න ඔක්කොම මට ජාතකවෙච්ච එව්වො!“ යැයි සරම කැහැපට ගසාගෙන තග දාමින් පාරේ සහ නියර දිගේ ඇවිද ගිය අයෙකි. ඒ අනුව එගම වාසීන් පොදු වශයෙන් සැලකූ විට බුදු පුත්තු වන්නේ ජාතක පියාගේ නෑකම අනුව ය. ඒ මදිවාට එතුමාට ඒ කාලයේ පමණක් නොව මේ කාලයේත් ‘සමහරක්‘ රටවැසියන් අමතන්නේ ‘අප්පච්චී‘ යන ගරු නාමයෙනි. ඒ අනුව ලංකාව තවමත් බුදුන්ගේ දේශයක් ලෙස සැලකිය හැකි වන අතර, මේ වීඩියෝවේ සිටින්නේ ද අඩු වැඩි වශයෙන් තවත් එවැනි බුදු පුතෙකි.
එවැනි බුදු පුතාලා අතර ඉදිරියෙන්ම සිටි චරිත රාශියක් අද වන විට පැටව් ගසා සිටිති. මියැන්මාරයේ විරතුගේ ගජ මිතුරෙක් වන ‘ලංකාවේ විරතු‘ යැයි ගරු නාම ලද ගලගොඩඅත්තේ ඥානසාර යනාදී වශයෙන් එම නාමලේඛනය ඉතා දිග ය. මේ වීඩියෝවේ කතානායකයා ද එවැනි අබ සරණ ගිය බුදු පුතෙකි. උන්වහන්සේලා ශාසන මාමකයැ. ජාති හිතෛෂී යැ. මෙවැනි හැසිරීම්වලට වන්දනා මාන කරනවුන්ටද මෙවැනි හැසිරීම් ‘බුදු පන්ච්‘ යැ.
අන්‍යාගමික යුවළ පසුපස එළවාගෙන යන අපේ හාන්දුරුවන් වහන්සේ අවසානයේ මග රැක සිට දෙන පණිවුඩය ඉතා නිරවුල් ය. ‘‘මීට පස්සෙ මෙහෙට එකෙක් හරි ඇවිල්ල තිබුණොත්.. තොපි දැනගනියව්, කපනව අනිවාර්යයෙන්!“
කැතයි, අපේ හාමුදුරුවනේ!
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS