( ශ්‍රී ලංකා මිරර් වාර්තාවකි) හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැනි දේශපාලනඥයකුට පමණක් චෝදනා කරමින් ලබාදී ඇති බැඳුම්කර වාර්තාව කිස...
(ශ්‍රී ලංකා මිරර් වාර්තාවකි)
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැනි දේශපාලනඥයකුට පමණක් චෝදනා කරමින් ලබාදී ඇති බැඳුම්කර වාර්තාව කිසිඳු ලෙසකින් අනුමත කල නොහැකිබව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නීතිඥයින් පවසති.
කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසීම සඳහා රවි කරුණානායක මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ අවස්ථාවේදී 'ශ්‍රී ලංකා මිරර්' ඔහුගේ නිවසට දුරකථන ඇමතුමක් දුන් මොහොතේ එහි සිටි නීතිඥයකු එබව කියා සිටියේය.
''ඒකාලේ බැඳුම්කර කොමිසමේ සිද්ධියට අදාළ මහා බැංකුව තිබුනේ රවී කරුණානායක මහතා යටතේ නෙමෙයි.
එහෙම තත්වයක් යටතේ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 11,000 කට අධික අලාභයක රවී කරුණානායක මහතා පමණක් වරදකරුවකු කරලා..
රවී කරුණානායක හිටපු ඇමතිතුමා බැඳුම්කර කොමිසමට ගිහින් සාක්ෂි දුන්නේ කොමිසමට සහයවෙන්න. ඒ නිසා බොරු සාක්ෂි දුන්න කියන කාරණය කොහොමවත් පිළිගන්න බැහැ. අපි ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.'' යයි එම නීතිඥයා කියා සිටියේය.
අනෙකුත් කාරනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
'කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ එජාපය අනුමත කරනවා' - අජිත් පී පෙරේරා
මේ අතර බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව 'බීබීසී සිංහල සේවය' සමග සිය පක්ෂයේ මතය පැහැදිලි කරමින්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බවයි.
ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය කර තිබෙන බවද ඔහු එහිදී අවධාරණය කළේය.
කොමිසමේ නිර්දේශ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා : "දැන් බොහෝ දෙනා චෝදනා කළේ ගරු අගමැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම වැරදියි කියල. කොමිසම පිළි අරන් තියෙනව පත්කිරීම නිවැරදියි, විධිමත් කියල," යනුවෙන් සඳහන් කළේය.
නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක විය යුතුයි:
බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාව තවමත් ප්‍රකාශයට පත් වී නොමැති බැවින් සමස්ත වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි වුවත්, රවි කරුණානායක මන්ත්‍රීවරයා සම්බන්ධ නිර්දේශය හැරුණු විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප්‍රකාශයේ සඳහන් වූ සියලු නිර්දේශ තමන් ද සාමාජිකත්වය දරන කෝප් කමිටුවේ ද නිර්දේශ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිලධාරීන් සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කොමිසම කරන නිර්දේශය අනුමත කරන්නේ දැයි විමසු අවස්ථාවේ නීතිඥ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ, "අනිවාර්යයෙන්ම," යන්නය.
"නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක විය යුතුයි," ඔහු පැවසීය.
"රටේ නීති ප්‍රමාණවත් නැත්නම් මේ අහිමි වූ මුදල් ආපසු ඇය කර ගන්න, ජනාධිපතිතුමා කියපු ආකාරයටම විශේෂිත පනතක් මගින් ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතුයි. ඒක කළ යුතුමයි." ඔහු අවධාරණය කළේය.
රවී විතරක් බිල්ලට දීලා !
මේ අතර බැඳුම්කර වාර්තාව මගින් රවී කරුණානායක මහතා පමණක් චුදිතයකු කර ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සඟවා ඇති බවට චෝදනාවක් එල්ලවෙමින් තිබේ.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දුෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත්කරනු ලැබූ නිවේදනයක ද ඒ සම්බන්ධයෙන් සැකයක් මතුකර ඇත.
'' බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල ප්‍රකාශයේදී බැදුම්කර වංචාවේ නම කියවුණු එක් දේශපාලනඥයෙකු වන රවී කරුණානායක මහතා පමණක් ප්‍රති-අනාවරණයක් සිදු කර ඇති අතර එයට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනයේ සිටින තවත් බොහෝ අය සගවා ඇති බව පැහැදිලිය.
බැදුම්කර වංචාව එක් දේශපාලනඥයෙකුගේ කාර්යයක් නොව සාමූහික, සැලසුම් සහගත ක්‍රියාවලියකි. එයට තවත් බොහෝ අය සෘජුව හා වක්‍රව සම්බන්ධව සිටී.'' යයි ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.
COMMENTS