පළාත් පාලන මැතිවරණයෙන් පසුව ප්ලොට් සංවිධානය හා ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම සංවිධාන දෙකේ නායකයෝ පවස...
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ප්ලොට් සංවිධානය හා ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම සංවිධාන දෙකේ නායකයෝ පවසති.
දෙමළ ජාතික සන්ධානය තුල මෙතෙක් පැවති අර්බුද අවසන් බව එහි නායකයින් ප්‍රකාශ කළත්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා හා ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පවසන්නේ එම අර්බුද කිහිපයක් විසදී ඇත්තේ පළාත් පාලන මැතිවරණ උණුසුම නිසා පමණක් බවයි.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව එම සියළු තත්ත්වයන් වෙනස් විය හැකි බව එම පක්ෂ දෙකේම නායකයෝ කියා සිටිති.
පක්ෂ අතර ගැටුමට හේතුව
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සෑම අවස්ථාවකදීම සාකච්ඡා වලදී එළඹෙන පොදු එකඟතාවලට අනුව කටයුතු නොකිරීම සෙසු පක්ෂ අතර ගැටුම් ඇතිවීමට ප්‍රධාන හේතුව බව ටෙලෝ හා ප්ලොට් නායකයා පෙන්වා දෙයි.
යාපනයේදී පැවති සාකච්ඡාවලදී මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්ලොට් හා ටෙලෝ සංවිධානවලට අපේක්ෂකයින් ලබා දීම සදහා අනුපාත ක්‍රමයක් සකස් කලත්, නාම යෝජනා ලබාදීමේදී එම එකගතා සියල්ලක්ම ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් කඩ කොට ඇති බවට ඔවුන් චෝදනා කොට සිටිති.
ප්ලොට් සංවිධානය යාපනයේ කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ නාම යෝජනා ලබා නොදීමටත්, ටෙලෝ සංවිධානය වවුනියාව නගර සභාවට තනිවම තරග කිරීමටත් තීරණය කොට ඇත්තේ මේ හේතුව මත යැයි එම නායකයෝ දෙදෙනා කියා සිටියි.
දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව ලබන වසරේ මාර්තු මස 05 වැනිදා පැවැත්වෙන විට පක්ෂය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ටෙලෝ හා ප්ලොට් නායකයෝ කියා සිටිති.
COMMENTS