වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති අතර වීරකැටිය ප්‍රාදේශීය සභාවෙ...
වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති අතර වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ද අවසර ලබාගෙන නොමැති බවට කරුණු අනාවරණය වන්නේ යැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් මඟින් ඊයේ (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දුන්නේය.
මෙම විමර්ශනයට අදාළව නීතිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දී ලබා දුන් උපදෙස් අනුව විමර්ශන පැවැත්වූ බව පවසන මුල්‍ය අපරාධ කොට්ඨාසය නාවික හමුදාව විසින් ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ගොනු සිය භාරයට ගත් බවත් එහිදී අනාවරණය වුයේ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් වාචික උපදෙස් හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා මහතා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව සිදු කර ඇති බවය.
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් පරිබාහිර ආයතනයක ව්‍යාපෘතියක් සිදු කිරීමේ දී දෙපාර්ශ්වය අතර මුලික සාකච්ඡාවක් පවත්වා ඉන් පසුව දෙපාර්ශ්වයේ එකඟතාව මත ගිවිසුමක් සකස් කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සමාන්‍යාධිකාරිතුමා ද, සේවා ලාභියා වෙනුවෙන් එම ආයතනයේ වගකිව යුතු නිලධාරියකු අත්සන් කළ යුතු බවත් අනතරුව මුලික වශයෙන් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඉතිරි මුදල් කොටස් වශයෙන් අයකර ගන්නා බවට එම සංස්ථාවෙන් කරුණු අනාවරණය වුවත් මෙම ව්‍යාපෘතියේ දී එවැනි සාකච්ඡාවක් ලිපි හුවමාරුවක් හෝ ගිවිසුමකට එළඹීමක් සිදු කර නොමැති බවට කරුණු අනාවරණය වන්නේයැයි මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
මෙම ව්‍යාපෘතයේ ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගෙන නොමැති බවට එම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරි අන්තෝනිගේ ගුණතිලක නමැත්තාගේ ප්‍රකාශ අනුව අනාවරණය වන බවට වාර්තාවේ සඳහන්ය. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රකාශ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතියක් ද ලබාගෙන නොමැති බවත් එසේම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙවීම් කටයුතු සිදු කිරීමේ දී මුල්‍ය රේගුලාසි උල්ලංඝනය කරමින් ගෙවීම් කටයුතු සිදු කර ඇති බවට ද කරුණු අනාවරණය වන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
තවද මෙම ව්‍යාපෘතිය ආරම්භ අවස්ථාවේ දී කිසිදු සේවාලාභියකු පැහැදිලිව ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ නීති අංශයෙන් නිසි අධීක්ෂණයකට ලක්කර නොමැති බවත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ ජලාපවහන හා ගොඩකිරීම් අංශය මගින් නීති අංශයෙන් කිසිදු ඉල්ලීමක් නොකළ බැවින් අධික්ෂණයක් නොකළ බවට එම ආයතනයේ නීති නිලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවට වාර්තාවේ.
ඉඩම් ගොඩකිරීමේ සංස්ථවේ එවකට සභාපති හර්ෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව (2013/9/13 ) එම ව්‍යපෘතියට අදාළ ප්‍රමාණ පත්‍රය සකස් කළ බවත් එසේ සකස් කිරීමේ දී භුමියේ පරික්ෂාවක් සිදු නොකළ බවත් එමෙන්ම ශ්‍රම දායකත්වය නාවික හමුදාව ලබාදෙන බවට සභාපතිවරයා පැවසීම හේතුවෙන් එම ප්‍රමාණ පත්‍රයට ශ්‍රම දායකත්වය ද ඇතුළත් කර නොමැති බව සඳහන්ය.
මෙම ගෙඩනැගිලි සැලැස්ම වර්ග අඩි 1000ක් පමණ වන බවත් මෙම ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම් ව්‍යාපෘතිය වැඩබිම පරික්ෂා කිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති හර්ෂාන් ද සිල්වා හා ඉංජිනේරු ඒෂණ රනවක මෙන්ම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
වර්ෂ 2015/8/4 දින රාජපක්ෂ අනුස්මරණ අධ්‍යපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමේ ලේකම් විසින් මෙම ව්‍යාපෘතියට වැය වූ මුදල් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.
මෙම විමර්ශනයට අදාළ නඩුවේ නීතිමය කරුණු අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ 391/17 යටතේ නඩුවක් පවරා ඇති බවත් එහි අතුරු තහනම් නියෝගයක් මේ මස 15 දක්වා නිකුත් කර ඇති බව දැන්වූ මුල්‍ය අපරාධ කොට්ඨාසය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 2013, 2014 හා 2015 වර්ෂවලට අදාළ වාර්ෂික අවසන් ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ඇති බවත් විමර්ශන සිදු කර වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ජනවාරි 25 වන දිනට නඩුව යළි කැඳවීමට නියම කළේය.
දිනමිණ
COMMENTS