මෛත්‍රී - මහින්ද සමගි කිරිමට බලවත් උත්සාහයක නිරතව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙර...
මෛත්‍රී - මහින්ද සමගි කිරිමට බලවත් උත්සාහයක නිරතව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
කෙසේවුවද ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් පළකර නොමැති බැසිල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ගෙන් නොවිමසා සමගි කතා ගැන අදහසක් පළකර නොහැකි බව සඳහන් කර ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
කොන්දේසි තුනක් !
මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසන්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත්කරවාගැනීම, මහබැංකු බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබූවන්ට අධිකරණයේ නඩු පවරා දඬුවම් ලබාදීම, ජාතික සම්පත් සම්බන්ධව ජාතික මණ්ඩලයක් පත් කර ඒ සඳහා සිවිල් සමාජයේ දේශප්‍රේමීන් කිහිප දෙනෙකු පත් කිරීම යන කොන්දේසි තුන ඉෂ්ට කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව පොරොන්දුවක් ලබාදෙන්නේ නම් ඔවුන් දෙදෙනා සමගි කිරීමට තමන් වහන්සේ සූදානම් බවයි.
ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඇතුළු ඕනෑම අයෙකු හමුවී එකඟකරවාගැනීමට තමන් වහන්සේ සූදානම් බවත්, එවැනි සාකච්ඡාවක් ඇති කරගැනීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා සූදානමින් සිටින බවත් එහිමියෝ ප්‍රකාශ කළහ.
කිසිදු දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරවීමට තමන් වහන්සේට උවමනාවක් නැති බවත්, සියල්ලට ප්‍රථම රට බේරාගත යුතු බවත් පැවසූ ගුණවංශ හිමියෝ මේ යන ලෙස ගියහොත් ඉදිරි අවුරුදු දෙක අවසානයේ රටේ කිසිදු සම්පතක් ඉතිරි නොවනු ඇති බවද සඳහන් කළහ.
මෛත්‍රී-මහින්ද හමුවක් ඇතිවීමට තිබුණේ මීට පෙර බවත්, එවැනි එකඟතාවක් ඇතිකරගැනීමට නොහැකිවීම හේතුවෙන් මේ වනවිට රටට බොහෝ හානි සිදුව තිබෙන බවත් එහිමියෝ පෙන්වා දුන්හ.
ශ්‍රීලනිපය ඇප බැඳීම 12-18 දෙදින :
මෙසේ සමගි කතා යලිත් වටයකින් ආරම්භවී තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේවනවිටත් සෑම පළාත් පාලන කොට්ඨාශයකටම ඉදිරිපත්වීම සඳහා වෙනවෙනම අපේක්ෂක ලැයිස්තු සකසමින් සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස් සන්ධානය මෙම මස 12 සහ 18 දින දෙක තුළ රට පුරා සියලුම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මැති ඇමැති වරුන් දිස්‌ත්‍රික් නායකයන් හා ආසන සංවිධායකවරුන් විසින් මෙම ඇපමුදල් තැන්පත් කිරීමට නියමිතය.
පක්‌ෂයේ නිල ලාංඡනය වන අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයිද ඒ සඳහා වන අවසන් තීරණය ඉදිරි දින දෙක ඇතුළත ගනු ඇතැයිද එම ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
ඒකාබද්ධ විපක්‍ෂය සමග ආයේ සාකච්ඡා නෑ
මේ අතර සූරියවැව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර සාකච්ඡා තවදුරටත් ඉදිරියට යාමක් සිදුනොවනු ඇති බවයි.
පැවති සාකච්ඡාවලින් ප්‍රගතියක් අත් නොවූ බව ඔහු කියා සිටියේය.
COMMENTS