පළාත් පාලන මැතිවරණයට පසු තනි ආණ්ඩුවක් හදන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එම පක්ෂ දෙකේ අභ...
පළාත් පාලන මැතිවරණයට පසු තනි ආණ්ඩුවක් හදන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එම පක්ෂ දෙකේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ල වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨයන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පවසා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගයද ලබාගෙන 2020 ප්‍රධාන මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිෂන් වාර්තාව ලබන 30 වැනිදා ජනාධිපතිවරයාට භාරදීමත් සමඟ එමඟින් උපරිම වාසියක් ලබාගෙන එම තනි ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේද සහයෝගය ලබාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩු ගිවිසුම දීර්ඝ නොකර එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් සෑදීම සඳහා මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව එම පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් කීවේය.
පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් රටේ ජනමතය අනුව මේ තනි ආණ්ඩුව සෑදීම පහසු වනු ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර 106ක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා තව අවශ්‍යව ඇත්තේ මන්ත්‍රි ධුර 7ක් පමණක් බවත් එම සංඛ්‍යාවටත් වඩා වැඩි පිරිසක් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා විවිධ පක්ෂවලින් කැමැත්තෙන් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ එම ප්‍රබල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අලුතින් ගොඩනැඟෙමින් තිබෙන මේ දේශපාලන ප්‍රවණතාව හමුවේ ලබන වසරේ රටේ දේශපාලන බල තුලනයේ වෙනස්කම් රාශියක් සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
COMMENTS