බරපතළ ලෙස පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ 110 කට ආසන්න සේවක පිරිසක් මාසයකට එක් අයෙකු සඳහා රුපියල් මිලියනයකට අධික වැටුපක් ...
බරපතළ ලෙස පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ 110 කට ආසන්න සේවක පිරිසක් මාසයකට එක් අයෙකු සඳහා රුපියල් මිලියනයකට අධික වැටුපක් ලබමින් සිටින බව වාර්තා වෙයි.
මේ බව හෙළිදරව් වී තිබෙනුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇති අර්බුද සහ එය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ විශේෂ කමිටුවේ විමර්ශනවලදීය.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයා පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව දෙසැම්බර් මස අගභාගයේ අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධව ආණ්ඩුව තීරණයක් ගැනීමට නියමිතව ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් සීමිත ප්‍රමාණයක් මේ ආකාරයට මාසිකව මිලියනයකට අධික වැටුපක් ලබමින් සිටියත් 2017 වසරේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවතියේ රුපියල් බිලියන 169 ක සමුච්චිත අලාභයක් වාර්තා කරමින් බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
එසේම මේ ආකාරයට ගුවන් සේවය පාඩු ලබන තැනට පත්ව තිබෙන්නේ එමිරේට්ස් සමාගම සතුව පැවති එහි කළමනාකරණය පවරා ගැනීමෙන් පසුවය.
පසුගිය ආණ්ඩුවට 94.68%ක් හා සේවකයන්ට 5.32%ක කොටස් හිමිකාරීත්වයක් ඇතිව එම පවරා ගැනීම සිදුකළත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ නිශාන්ත වික්‍රමසිංහ ය. ඔහු ජනාධිපති බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ගේ සොහොයුරා ය.
අටදෙනකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් සාමාජිකයකු වූයේ ශවීන්ද්‍ර රාජපක්ෂ ය. ඔහු හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත්‍රයකු වන අතර, හිටපු ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සොහොයුරා ය.
COMMENTS