මෙසේ මෙම පරීක්ෂණ සභා වාර්තාව ‘සොයාගත නොහැකි ලෙස අතුරුදහන්’ වී තිබෙන්නේ එය ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිගොනුවක් තුළ (ෆයිල් එකක) ගැබ් කර, ම...
මෙසේ මෙම පරීක්ෂණ සභා වාර්තාව ‘සොයාගත නොහැකි ලෙස අතුරුදහන්’ වී තිබෙන්නේ එය ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිගොනුවක් තුළ (ෆයිල් එකක) ගැබ් කර, මෙයට වසර 10කට පෙර, එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමයේ ජාතික ලේඛනාරක්ෂණාගාරය වෙත යැවීමෙන් අනතුරුව ය.
මෙම පරීක්ෂණ වාර්තාව ඉල්ලා සිටින අභියාචනය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගොනු කළේ වෙළඳ සහ අභ්‍යන්තර වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බෂීර් සේගු දාවුඩ් විසිනි. හිටපු මුස්ලිම් කොංග්‍රස් නායකයා සහ පක්ෂ නිලධාරීන් ඇතුළු තවත් 14 දෙනෙක්, 2000 වසරේදී එන්ජිමේ දෝෂයක් හේතු වූ බව පැවසුණු හෙලිකොප්ටර් කඩා වැටීම ආශ්‍රිතව පැතිරුණු විවිධාකාර මතයන්ට මෙම වාර්තාව ‘අතුරුදන් වීම’ තවදුරටත් ඉන්ධන සැපයීය.
ඒ කාලයේ ඒ පිළිබඳ ඇතිවූ මහජන කැළඹීමට ප්‍රතිචාර දක්වමින් කේ.එල්.ජී. වීරසේකර විනිසුරුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද්දේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. කෙසේ නමුත් එම වාර්තාව කිසිදිනෙක ප්‍රසිද්ධ කෙරුණේ නැත. දාවුඩ් මහතා විසින් ගොනු කරන ලද අභියාචයේදී තොරතුරු කොමිෂන් සභාව ඉදිරියේ අනාවරණය වූයේ අෂ්රෆ් කොමිසමේ ලිපිගොනුව ලේඛනාරක්ෂණාගාරය වෙත යවා තිබෙන්නේ 2007 වසරේදී බවයි. එනම් පරීක්ෂණය අවසන් කර වසර ගණනකට පසු හිටපු ජනපති රාජපක්ෂ සමයේදී ය.
එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටිමින් දාවුඩ් මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කළ මූුලික තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ඉන්පසුව ඔහු තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කළේය. කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා සහ කොමිෂන් සභා සාමාජිකයන් වූ ජේ්‍යෂ්ඨ නීතිඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන, ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් සහ ජ්‍යේෂ්ඨ නීතීඥ එස්.ජී. පුංචිහේවා යන අය ඉදිරියේ ඔක්තෝබර් 16 වැනිදා සිදුකරනු ලැබූ එම අභියාචන විභාගයට ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් අතිරේක ලේකම්වරයා (නීති) පෙනී සිටි අතර ඔහු දැනුම් දී සිටියේ එම තොරතුරු ඉල්ලීම මත ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් ජාතික ලේඛනාරක්ෂණාගාරයෙන් එම වාර්තාව ඉල්ලා සිටි නමුත් එම වාර්තාව නැති වී ඇති බවයි (http://ift.tt/2yenSpC)
අදාළ ලිපිගොනුව 2007.01.12 දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජාතික ලේඛනාරක්ෂණාගාරය වෙත යැවූ බව දැක්වෙන එක් ‘සටහනක්’ (‘Minute’) පමණක් විය. අෂ්රෆ් වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ද නොතිබුණි. මෙම ගැටලුව සලකා බලමින් තොරතුරු කොමිසම ජාතික ලේඛනාරක්ෂණාගාරයේ වගකිව යුතු නිලධරයාට මගපෙන්වීම් නිකුත් කළේ විභාගයේ මීළඟ දිනය වන නොවැම්බර් 20 වැනිදා, කොමිෂන් සභාවට පරීක්ෂා කිරීම සඳහා අදාළ ලිපිගොනුව ද රැගෙන කොමිෂන් සභාව ඉදිරියට පැමිණෙන ලෙස ය.
මේ වසර මුලදී තොරතුරු කොමිෂන් සභාව වෙත වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අභියාචනා කළේ 2011 මැයි මාසයේ පොලිසිය විසින් රොෂේන් චානක ඝාතනය කිරීම සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ට තුවාළ සිදුකිරීම පිළිබඳ පත් කළ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ලබාගැනීම පිණිස ය. සේවක භාරකාර අරමුදල පුද්ගලීකරණය කිරීම සහ එය විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පත් කිරීමේ මහින්ද රාජපක්ෂ යෝජනාවට එරෙහිව රොෂේන් චානක ඇතුළු කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන් විසින් සිදුකළ උද්ඝෝෂණයකදී මෙම පොලිස් ප්‍රහාරය සිදුවිය. මහානාම තිලකරත්න හිටපු මහාධිකරණ විනිසුරුගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව බලධාරීන් වෙත ලබාදීමෙන් අනතුරුව වසර ගණනාවක් යන තෙක් මුදා හරිනු නොලැබිණි. ඝාතනයට ලක් වූ රොෂේන් චානකගේ මව විසින් මේ වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ එමගින් ජාතික ආරක්ෂාව තර්ජනයක් වේ යන පදනම මත ය. කෙසේ නමුත් තොරතුරු කොමිෂන් සභාව වෙත අභියාචනය කර කෙටි කාලයකින් එම වාර්තාව මුදා හැරිණි. පසුගිය මසට යෙදී තිබූ අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය (International Right to Know Day - IRTK) සමරමින් රොෂේන් චානකගේ මව විසින් තොරතුරු පනත පැසසුවේ, සිය පුතාගේ මරණයට අදාළ වාර්තාව මුදා හැරීම සඳහා තොරතුරු පනත හේතුපාදක වීම නිසා ය.
තිලකරත්න පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විසින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයන් වෙත පොලිසිය විසින් අතිරේක බලය යෙදවීම තරයේ හෙළා දකියි. එහිදී පොලිසිය කටයුතු කර ඇත්තේ ‘නොහික්මුණු’ ලෙස යැයි පවසන එම වාර්තාව, නිදහස් වෙළඳ කලාප සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් ගැන දනිමින්ම පොලිසිය කැඳවීම ද තරයේ හෙළා දකියි. පොලිසියේ ක්‍රියාවන් දණ්ඩ නීතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සේ ගිණිය හැකි බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ජනාධිපතිගේ බලය මත පත් කරන සහ, නිතරම විශ්‍රාමලත් හෝ ධුරයේ කටයුතු කරන විනිසුරුවරුන් විසින් ප්‍රධානත්වය උසුළනු ලබන පරීක්ෂණ කොමිෂන් සභාවන් පිහිටුවීම පිණිසත් ඒවා නඩත්තු කිරීම පිණිසත් වැය කරන්නේ මහජන මුදල් වුවද, ඒවායේ වාර්තා මහජනයා වෙත නිකුත් නොකරන බව පැහැදිලිව පෙනී යන කාරණයකි.
ලේඛනාරක්ෂණය ට අදාළ නීති යටතේ පරීක්ෂණ කොමිෂන් සභාවක ලේකම්වරයා පත් කරනු ලබන්නේ පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ වන අතර, අවසන් වාර්තාවෙන් මාස 3 ක් ඇතුළත ඔහු විසින් ජාතික ලේඛනාරක්ෂණාගාරයේ එකී පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ සියලු වාර්තා තැන්පත් කළ යුතුය. කෙසේ නමුත් ප්‍රායෝගිකව මෙම නීති ප්‍රතිපාදනය අනුගමනය කෙරෙන්නේ කලාතුරකිනි. 1973 අංක 48 දරණ (සංශෝධිත) ජාතික ලේඛනාරක්ෂණ නීතිය යටතේ සාදනු ලබන රෙගුලාසි විසින් සඳහන් කරන්නේ එබඳු වාර්තා ජාතික ලේඛනාරක්ෂණාගාරයේ තබාගත යුතු වන බවයි. ඒවා වසර 30 ක කාලයකින් පසු මහජනයාට පරීක්ෂා කළ හැකි වනු ඇත. එනම් එකී කාලය ඉක්ම යන තෙක් එම වාර්තා සකස් කළ මහජන ආයතනය, ඒවා මහජන පිරික්සුම සඳහා විවෘත නොකරනු ඇත.
කෙසේ නමුත් තොරතුරු දැනැගැනීමේ පනතේ 4 වන වගන්තිය සඳහන් කරන්නේ වෙනත් ලිඛිත නීතියක, පටහැණි අර්ථයකින් කුමක් සඳහන් වුවත් තොරතුරු උපරිම ලෙස හෙළිදරව් කරන පනතේ විධිවිධාන බලාත්මක බවයි. මෙයට අනුව, මෙයට අනුකූල නොවන යම් තත්වයක් ඇති වුවහොත් හෝ තොරතුරු නීතිය සහ වෙනත් නිතියක් අතර යම් ගැටීමක් ඇති වුවහොත් ප්‍රමුඛ විය යුත්තේ තොරතුරු පනතේ ප්‍රතිපාදනයි. ජාතික ලේඛනාරක්ෂණ නීතිය, තොරතුරු පනතට අනුකූල වීම සඳහා සංශෝධනය විය යුතු නීති ගණනාවක් අතරට ලැයිස්තුගත කර තිබේ.
COMMENTS