හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කෙරුණේ 2012 මැයි 17 වනදාය. රාජපක්ෂ පාලන යුගයේදී යට ගසා තිබුණු මෙම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ රාජපක්...
හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කෙරුණේ 2012 මැයි 17 වනදාය. රාජපක්ෂ පාලන යුගයේදී යට ගසා තිබුණු මෙම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ රාජපක්ෂ පාලනය බිඳවැටීමෙන් පසු නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා අත් අඩංගුවට ගැණුනේ 2016 අප්‍රේල් 20 වනදාය. දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුව මහාධිකරණයෙන් ඔහුට ඇප නියමවූයේ 2017 පෙබරවාරි 16 වනදාය. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 3ක් සමඟ දැඩි ඇප කොන්දේසි පිට ඔහුව නිදහස් කෙරිණි. මාස 10කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට ඔහුට සිදුවිය.
කුප්‍රකට ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගැණුනේ 2016 මැයි 23 වනදාය. තාජුඩීන් ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සහ තොරතුරු වසන් කිරීම පිළිබඳ චෝදනා ඔහුට එල්ල වී තිබිණි. වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් පසුව මහාධිකරණය මඟින් ඔහුට ඇප නියම කෙරුණේ 2017 ජුනි 02 වනදා ය. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප 3ක් සමඟ දැඩි ඇප කොන්දේසි පිට ඔහුව නිදහස් කෙරිණි.
එහෙත් ආනන්ද සමරසේකරව විමර්ශන කටයුතු සඳහා අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් වරෙන්තුවක් ඉල්ලා සිටියේ පසුගිය ඔක්තෝබර් 02 වනදාය. ඔක්තෝබර් 19 වනදා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දීමට නියමිතව තිබියදී එදිනම අධිකරණයට භාර වුණු ආනන්ද සමරසේකරව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් පමණක් මත නිදහස් කෙරිණි. චෝදනා එකම ආකාරයේ ඒවා වුවද ඔහු එක් දිනක් හෝ බන්ධනාගාර ගතව සිටියේ නැත.
එමෙන්ම තාජුඩීන්ගේ මෘතශරීරයේ අස්ථි කොටස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් ඔහු දැනටම වැරදිකරුවෙක් වී සිටියි. එනම්, අධිකරණ නියෝගයක් අනුව ඒ සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පැවැත්වූ ඔහුව වැරදිකරු වශයෙන් තීරණය කර 2017 ජුලි 02 වනදා සිට මාස 6ක් දක්වා ඔහුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියෙන් ඉවත් කර ඇත. ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය ද මේ කාලසීමාවට අදාලව අහෝසි වී තිබේ. එසේ දැනටමත් වරදකරුවකු වී ඇති සැකකරුවකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වන විශේෂ හැසිරීම කාගේත් ප්‍රශ්න කිරීමට ලක් වී තිබේ.
නීතිය යනු කාටත් එකලෙස ක්‍රියාත්මක විය යුතු එකකි. බලධාරීන්ගේ ආශිර්වාදය හෝ අනුකම්පාව හිමි වූ පමණින් නීතිය එකිනෙකාට වෙනස් ලෙස ක්‍රියාත්මක විය යුතු නැත. වසීම් තාජුඩීන් ඝාතනය යනු රට ම හෙල්ලූ අපරාධයකි. එහි විමර්ශන කටයුතු තවත් ඉදිරියට බොහෝ දුර යායුතුව තිබේ. සැබෑ අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා එම විමර්ශන සූක්ෂම ලෙස සිදුකළ යුතුව ඇත. එවන් වටපිටාවක් තුළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයා පරීක්ෂණ අතරින් 'ශේප් එකේ ලිස්සා යාමට තැත්කිරීම' සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට නොදැක්කා සේ අනුබල දීම යන දෙකම ප්‍රශ්න කාරීය. රාජපක්ෂ යුගයේ නීතිය වල්වැදී තිබුණු බව අපි කවුරුත් දනිමු. එය නැවත සිදු නොවීමට නම් සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කෙරෙණ වටපිටාවක් ඇති කළ යුතුව ඇත.
සබැඳි පුවත් -
ආනන්ද සමරසේකර අධිකරණයට භාරවෙයි
ආනන්ද සමරසේකර ගැන රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වයි
වසීම් තාජුඩීන් ඝාතනය ; ආනන්ද සමරසේකර අත් අඩංගුවට නොගැනීමට හේතු ඉල්ලයි
COMMENTS