ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කඩිනමින් එකඟතාවකට පැමිණ ...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කඩිනමින් එකඟතාවකට පැමිණ තමන්ට ශ්‍රීලනිපයට පැමිණීමට ඉඩ හදා දෙන ලෙසයි. එහෙත් එක්වරම ඒකාබද්ධ විපක්ෂය අතහැරදා පැමිණීමට නොහැකි බවත්, එම නිසා නිශ්චිත අවස්ථාවක් එනතුරු සිටින බවත් ඔවුන් පවසා තිබේ.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපය සමඟ එක්වීම තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ වෙනම තරග කිරීම මඟින් පොදුජන පෙරමුණට වැඩි වාසි ලබාගත හැකි බවයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු අවධාරණය කර තිබෙන්නේ ශ‍්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක් වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කළ නොහැකි බවයි. එසේ කරන්නේ නම් එය ශ‍්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් විය යුතු බවත්, එවැනි තීරණයක් නැතිව වෙනත් පක්ෂයක් වෙනුවෙන් වැඩ කිරීමෙන් තම පක්ෂ සාමාජිකත්වය පවා නැති විය හැකි බවත් ඔවුන් පවසා තිබේ. එසේ පක්ෂ සාමාජිකත්වය නැති වුවහොත් ආසන සාමාජිකත්වය මෙන්ම මන්ත‍්‍රී ධුර පවා නැති වීමේ අවදානමක් ඇති බවත්, එය වඩාත් අවාසිසහගත තත්ත්වයක් බවත් මේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී තිබේ.
මේ පිරිස දිගින් දිගටම ජනාධිපතිවරයාට සමීප පාර්ශ්වයන් මඟින් පණිවුඩ එවමින් දැනුම් දී ඇත්තේ තමන්ට යළිත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට ඉඩ හදා දෙන ලෙසයි. පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාට එවූ කොන්දේසි හතක් සහිත ලිපියේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවලට සහභාගි නොවන බවක් සඳහන් වූයේ නැත. එය තවදුරටත් පක්ෂ සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නීතීඥ උපදෙස් මත සකස් කරන ලද්දක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සිකුරාදා (03) පැවැති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට ද ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සහභාගි වී නැතත්, ඔවුන්ගෙන් බහුතරයක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කලින් දැනුම්දීමට කටයුතු කර ඇත.
බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් මේ පිරිසගේ මතයට එරෙහිව යමින් පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සිදු කළ යුතුය යන ස්ථාවරයේ සිටින අතර, ඔවුන් තවදුරටත් සාමාජිකයන් බඳවාගැනීමේ මෙහෙයුමක් ද සැලසුම් කරමින් සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඔවුන්ට අනුව යමින් පසුගිය දිනෙක පවසා තිබුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොව පොදුජන පෙරමුණෙන් මැතිවරණවලට තරග කිරීම යහපත් වනු ඇති බවයි.
ජනිත ප්‍රසාද් සේනානායක
COMMENTS