සෝභිත නාහිමියන් අනුස්මරණය කිරීම සඳහා ඉදිකරන ස්මාරකයට මුල්ගල් තැබීම ද අද සිදුවූ අතර කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ සෝභිත නාහිමියන්ගේ ස්මාරකය...
සෝභිත නාහිමියන් අනුස්මරණය කිරීම සඳහා ඉදිකරන ස්මාරකයට මුල්ගල් තැබීම ද අද සිදුවූ අතර කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ සෝභිත නාහිමියන්ගේ ස්මාරකය දකින හැමවිටම දේශපාලනඥයන්ට යුක්තිය, සාධාරණය පිරි සමාජයක් වෙනුවෙන් කැපවීමේ වගකීම සිහිගන්වනු ඇති බවයි. මෙම ස්මාරකය මුළුමහත් ජාතියටම යහපාලන මූලධර්ම උගන්වන ශ්‍රේෂ්ට ස්මාරකයක් වනු ඇති බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා,
'උන්වහන්සේ තුල තිබූ නිර්මල අරමුණ උන්වහන්සේ පැතූ සමාජය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ වගකීම අප උරමත තිබෙන බවත්, සිහි කළ යුතුයි. අද අපි පියවරෙන් පියවර ඒ සඳහා ඉදිරියට යමින් තිබෙනවා.'
'නමුත්, සෑම වසරකම සෝභිත හිමියන් සමරන මොහොතේ අප එම ගමනේ කොපමණ ඉදිරියට පැමිණ තිබෙනවා ද අපට වැරදුන තැන් මොනවා ද කියලා ආපසු හැරී බලන්න පුළුවන්. අඩුපාඩු හදාගන්න පුළුවන් වේවි. ඒ නිසාම සෝභිත හිමි සැමරීම තවත් එක් සැමරුමකට වඩා ජාතියේ අධිෂ්ඨානය අළුත් වන අවස්ථාවක්. ඒ වගේම එවිට උන්වහන්සේ අප පිටුපසින් සිට අපට මඟ පෙන්වන බව දැනේවි. මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමග සමීපව ඇසුරු කරන්නට ලැබීම නිතර උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබීමට හැකිවීම ජීවිතයේ ලද අතිමහත් භාග්‍යයක් ලෙස මම කල්පනා කරනවා.'
'ඒ සියල්ලටමත් වඩා මට උන්වහන්සේ තුල තැබූ මානව දයාව කරුණාව දැනුනු තැනක් හැටියට උන්වහන්සේ විසින් ගොඩනැගුණු විලච්චිය ඇලපත්ගම ගම්මානය හැදින්විය හැකියි. උන්වහන්සේ වෙනුවෙන් එහි ජනතාවට පිළිසරණක් වන්නට අත්වැල් බැඳගත් සියළුම දෙනා ගෞරවයෙන් සිහි කිරීම මේ මොහොතේ මාගේ වගකීමක්. එක ශ්‍රේෂ්ඨ මිනිසෙකුට මුළු මහත් සමාජයක් වෙනස් කළ හැකි බවත් එවන් එක් පුද්ගලයෙක් තබන එක් පියවරක් දැවැන්ත ගමනක ආරම්භය වන බවත් උන්වහන්සේ ගොඩනැගූ සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය කදිම උදාහරණයක්. ඒ තුලින් උන්වහන්සේ මේ රටේ ඉතිහාසයට අළුත් පරිඡේදයක් එක් කරනු ලැබුවා.'
COMMENTS