චූලානන්ද පෙරේරා ආගමන විගමන පාලකවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී ලංකාවේ කුප්‍රකට මිනිස් ජාවාරම්කරුවන් සමග සමීපතම සම්බන්ධතා පැවැත්වූ අයෙක් බව...
චූලානන්ද පෙරේරා ආගමන විගමන පාලකවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී ලංකාවේ කුප්‍රකට මිනිස් ජාවාරම්කරුවන් සමග සමීපතම සම්බන්ධතා පැවැත්වූ අයෙක් බව රහස් පොලිස් පරීක්ෂණවලදී හෙලිදරව් වී තිබේ.
තිස් වසරක යුද්ධය නිමාවීමෙන් අනතුරුව දෙමළ සරණාගතයන් හාරසියයකට අධික ප්‍රමාණයක් රැගත් 'Sun Sea' නෞකාව කැනඩාව වෙත සේන්දු වීම පිටුපස සිටි මහ මොළකරු වන්නේ 'කට්ට රවී' නමැත්තෙකි. ශ්‍රී ලංකා හමුදාවන්ගෙන් සිදු වූ කෘෘර අතවර නිසා පීඩාවට පත් දෙමළ ජනයාගේ ඉහමොළ සූරාකමින්, ඔවුන් සතු සියලු දෑ පැහැර ගනිමින්, එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් අයකර ගනිමින් ඉහත කී නෞකාව බද්දට ගෙන කැනඩාව වෙත යවා කැනඩා මුහුදු සීමාවේ අතරමං කර හරින ලද්දේ මෙකී 'කට්ට රවී' නමැත්තාය. ඔහු පදිංචි වී සිටින්නේ තායිලන්තයේ බැංකොක් නගරයේය. බැංකොක් නගරය යනු මිනිස් ජාවාරම්කරුවන්ගේ තිප්පොලකි. තායි පොලීසිය හා තායි ආගමන විගමන දෙපාර්තමේන්තුව මහාපරිමාන දූෂණ සිදුවන ස්ථානයන් වන බැවින් බැංකොක් නගරයි ආසියානු මිනිස් ජාවාරම්කරුවන්ට රන් ආකරයකි. එබැවින කට්ට රවි හා ඔහුගේ ගෝල බාලයන් සිය ජාවාරම ජයටම කරගෙන යන්නේ තායිලන්තයේ බංකොක් නුවර සිටය.
ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලක චූලනාන්ද පෙරේරා තායිලන්තයට ගියවිට ඔහුට සියලු යාන-වාහන, කෑම-බීම, ඉඳුම්-හිටුම් සපයනු ලබන්නේ මෙකී කට්ට රවී විසිනි.
'Sun Sea' නැව හරහා කැනඩාවට සංක්‍රමණය වූ දෙමළ සරණාගතයන්ට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර ලැබී තිබුණේදැයි මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතී.
මෙම චූලානන්ද පෙරේරා යනු ඉතා අපකීර්තිමත් ඉතිහාසයක් සහිත දූෂිත නිළධාරියෙකි. 1998 වසරේ පාතාල නාකයෙකු වූ කඩුවෙල ධම්මික අමරසිංහ අන් අයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයකට තම ඡායාරූපය යොදා (මෙය මිනිස් ජාවාරම්කරුවන් හඳුන්වන්නේ හෙල්මට් කරනවා යනුවෙනි) විදේශගතවීම සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුවේදී, එවක ආගමන විගමන සහකාර පාලකවරයා ලෙස සිටි චූලානන්ද පෙරේරා සාක්ෂි දෙමින් පැවසූයේ එය නීත්‍යනුකූල ගුවන් ගමන් බලපත්‍රයක් බවයි. එසේ සාක්ෂි ලබාදීමට එම නඩුවේ ප්‍රධාන සැකකරු වන එවක හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම වත්මන් සභාපති තිලංග සුමතිපාලගෙන් කොපමණ මුදලක් ලබා ගත්තේදැයි මෙතෙක් අනාවරණය වී නොමැත. එවක රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේදී චූලානන්ද පෙරේරාව අගතිදායක සාක්ෂිකරුවෙක් (Adverse Witness) වශයෙන් නම්කරනු ලැබුවත් එවක සිටි නීතිපතිවරයාගෙන් ලද අනුග්‍රහය මත අධිචෝදනා නොලබා ගැලවී යාමට චූලානන්දට හැකිවිය.
එමෙන්ම මොහු 2004 වසරේදී නියෝජ්‍ය ආගමන විගමන පාලකවරයා ලෙස කටයුතු කරමින් සිටි අවදියේදී එල්ටීටීඊ සංවිධානයට ආයුධ සහ රේඩියෝ උපකරණ සැපයූ ආශීර්වාදන් සත්‍යබවන්, තේවරාජා සසිකරන් සහ සුජිත් ගුණපාල යන අයට චෝදනා එල්ල වී තායිලන්තයේ බන්ධනාගාරගතව සිටියදී ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර තායි පොලීසිය විසින් තම සන්තකයට ගෙන තිබිණි. පසුව කොටි සංවිධානය විසින් ඔවුන් තිදෙනා රාජකීය සමාවක් (Royal Parole) සංවිධානය කොට රටින් පිටකිරීමේදී ඔවුන්ට අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍ර ලබාදී ඇත්තේ මෙම චූලානන්ද පෙරේරා විසින් බව මේ වනවිට රහස් පොලීසිය අනාවරණය කරගෙන ඇත.
මෙවන් වූ දූෂිත ඉතිහාසයක් ඇති රාජ්‍ය නිළධාරියෙකු තවමත් නිදැල්ලේ සිටීම විමතියට කරුණකි. මෙරට ආගමන විගමන පනතේ 45C වගන්තිය යටතේ මොහුට චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට මනා අවස්ථාවක් මේ වනවිට ලැබී තිබෙන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඔහුව රාජ්‍ය නිළධාරීන්ගේ සංචිතයට මාරුකර ඇති හෙයිනි. මොහු පිළිබඳව තවත් අනාවරණය වූ කරුණු රැසක් ඇතත් ඒවා මේ අවස්ථාවේදී අප හෙලිදරව් නොකරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ හා රහස් පොලීසියේ විමර්ශන කටයුතුවලට එය බාධාවක් වන බැවිනි.
කෙසේ වෙතත් නීතිපතිතුමාගෙන් අප විමසන්නේ තවදුරටත් මෙවැනි දූෂිත රාජ්‍ය නිළධාරීන්ට නීතියේ මුක්තිය ලබාදෙනවාද යන්නයි.
COMMENTS