සිය සැමියා වෙනුවෙන් ඇප තැබූ කාන්තාවකට සිරදඬුවම් විඳීමක් සිදුවීම සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව ...
සිය සැමියා වෙනුවෙන් ඇප තැබූ කාන්තාවකට සිරදඬුවම් විඳීමක් සිදුවීම සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව එම ප්‍රවෘත්තිය දුටු රේගු දෙපාර්තමේන්තුවේ මිතුරු සංසදය විසින් අදාළ කාන්තාව බේරා ගැනීම සඳහා දඩ මුදල වූ රුපියල් ලක්ෂය ඊයේ (29දා) අදාළ කාන්තාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ චමින්ද හේමකුමාර මහතා වෙත සිරදඬුවම් විඳින කාන්තාවගේ මව ඉදිරියේ ලබාදෙන ලදී.
ඒ අනුව රේගු දෙපාර්තමේන්තුවේ මිතුරු සංසදය වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන වයි. ආනන්ද කුලසේකර මහතා ඊයේ (29දා) දැනට කුරුවිට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින සේපාලිකා සමන්මලී යන අයගේ නිවෙසටම ගොස් ඇයගේ මව වන ටී.පී.ඩබ්ලිව්. පත්මාවතී යන අය ඉදිරියේ නීතිඥවරයාට මුදල් ලබා දුන්නේය.
මෙම මුදලට අමතරව දරුවන් දෙදෙනාගේ අවශ්‍යතා සඳහා රුපියල් දසදහසක මුදලක් හා වියළි ආහාර ඇතුළු ඇඳුම් පැලඳුම් හා සෙල්ලම් උපකරණ ප්‍රදානයක්ද සිදු කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන වයි. ආනන්ද කුලසේකර මහතා මෙසේ කීය.
''පසුගිය දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් මේ කාරණාව හෙළිදරව් කිරීමෙන් අනතුරුව මේ දරු දෙදෙනාගේ මව සිරගත වීමේ අනුවේදනීය ප්‍රවෘත්තිය පළ කර තිබුණා. ඒ අනුව රේගු දෙපාර්තමේන්තුවේ මිතුරු සංසදය වහාම ක්‍රියාත්මක වෙලා අදාළ දඩ මුදල වූ රුපියල් ලක්ෂය වහාම එකතු කර එම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද හේමකුමාර මහතාට භාර දුන්නා. අපි මෙම සිරදඬුවම් විඳින මවගේ දරුවන් දෙදෙනා වෙනුවෙනුත් ඉදිරියේදී යම් සුබසාධන කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රවෘත්ති අනාවරණය කළ සියලු මාධ්‍ය ආයතනවලට හා එහි මාධ්‍යවේදීන් සියලු දෙනාටත් ස්තුති කරනවා.
අනතුරුව අදහස් දැක්වූ නීතිඥ චමින්ද හේමකුමාර මහතා,
සිරදඬුවම් විඳින දෙදරු මව බේරා ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂයේ මුදල ලැබුණා. ඒ අනුව අද දින (30දා) එම මුදල් බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කරනවා. ඊට පසුව අධිකරණය හරහා කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයාට දැන්වීමෙන් පසුව සිරදඬුවම් විඳින මවට නිදහස ලැබේවි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරදඬුවම් විඳින දෙදරු මවගේ මව වන ටී.පී.ඩබ්ලිව්. පත්මාවතී මහත්මිය මෙසේ කීවාය.
ඇත්තටම දුව සිරගත වුණු දවසේ ඉඳලා මම නොකා නොබී හිටියේ. වයස අවුරුදු දෙකේ තුනේ දරුවො දෙන්නා හදා ගන්නේ කොහොමද කියලා. පසුගිය දවස්වල අහල පහළ අය කෑම බීමෙන් සංග්‍රහ කළා. පත්තරේ මේ ප්‍රවෘත්තිය දැකලා පින්වන්ත මහත්තුරු කණ්ඩායමක් දුව බේරගන්න මුදල් ලබා දුන්නා. මේ කටයුතුවලට උපකාර කළ සියලුදෙනාටම නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
COMMENTS