හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඔහුගේ ඊමේල් පණිවිඩ මඟින් 'විනෝද සමය' රඟදක්වන්නට පටන් ගත...
හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඔහුගේ ඊමේල් පණිවිඩ මඟින් 'විනෝද සමය' රඟදක්වන්නට පටන් ගත්තේ අද ඊයේක නොවේ. මීට පෙර මාධ්‍ය සඟයින් අමතා එවූ ඊමේල් පණිවිඩය පිළිබඳව ද අපි ඔබට කීවෙමු. මෙවර ඔහු පස්වන ශ්‍රී ලංකාවක් නිර්මාණය කර තිබේ.
මහින්ද රාජපක්ෂ මෙවර එවා ඇති ඊමේල් පණිවිඩයෙන් දැක්වෙන්නේ "ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය වරයෙක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනතා නායකයෙක් වූ යුකියෝ හටොයමා මැතිතුමන් හා පස්වන ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් ටෝකියෝ වෙස්ටින් හෝටලයේදී පැවැත්වුණු" බවය.
ඒ අනුව මහින්ද හමුවුණු යුකියෝ හටොයමා යනු ජපානයේ හිටපු අගමැතිවරයෙකි. එහෙත් මහින්ද රාජපක්ෂ යනු හිටපු ජනාධිපතිවරයකු නොවේ. ඔහු පස්වන ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාය.
ඇත්තය.
මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය දරමින් සිටි කාලයේ ශ්‍රී ලංකාව පැවතියේ පස්වෙමින් බව අප පිළිගත යුතුව ඇත. රටේ ගොඩ ගැසුණු තරමක් පස් කඳු ඊට සාක්ෂිය. ම්ලේච්ඡ යුද්ධයෙන් උතුරේ ලක්ෂ ගණන් පස් කඳු ගොඩ ගැසිණි. දකුණේ දහස් ගණන් පස් කඳු ගොඩ ගැසිණි. ප්‍රජාතන්ත්‍රවාදය පස් කෙරුණි. මානව හිමිකම් පස් කෙරුණි. මිනිස් නිදහස් පස් කෙරුණි. ලංකාව එකම පස් ගොඩක් බවට පත් කිරීමේ ඔහුගේ අභිලාශය මුදුන් පමුණුවා ගැනීම සඳහා තුන්වන වරටත් විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට ගිය අවස්ථාවේදී ජනතාව විසින් ඔහුගේ අභිලාශය පස් කෙරිණි.
මහින්ද රාජපක්ෂ තවමත් තමන් ජාතික නායකත්වයට සුදුසු බව පෙන්වීමට මොන තරම් උත්සාහ ගත්තද ලැබූ පරාජය හරහා ඔහු මොනතරම් නම් මානසිකව දුරවල වී ළාමක වී සිටීද යන්න තේරුම් ගැනීමට මේ 'පස්වන ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති' කතාව ම ප්‍රමාණවත් ය. ඔහු දැනට ජීවත් වන්නේ තමන් විසින් ම මවා ගත් මනෝ ලෝකයක ය. ඔහු තමන් හිටපු ජනාධිපතිවරයකු බව පිළිගැනීමට කැමති නැත. ඔහුට පෙර විධායක ජනාධිපතිවරුන් මේ රටේ සිටි අතර දැනට ද විධායක ජනාධිපතිවරයකු සිටී. ඔහු දැන් ඔහුගේම තීරණය මත හුදෙක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණි. අවම වශයෙන් ඔහු නිල වශයෙන් නායකත්වය දෙන දේශපාලන පක්ෂයක් හෝ නැත. මෙය පිළිගන්නවාට වඩා පස්වන ශ්‍රී ලංකාවක විධායක ජනාධිපති වී සිටීම ඔහුට සැපදායක වී තිබේ.
මේ අනුව මහින්ද රාජපක්ෂට දැන් ජාතික නායකත්වයකට වඩා අවශ්‍ය වී ඇත්තේ මානසික ප්‍රතිකාර බව පෙනේ. මහින්ද කීවෙනි විධායක ජනාධිපතිවරයා වී සිටියත් ශ්‍රී ලංකාව තවම පස් වී නොමැති බවත් පස් වන්නේ නොමැති බවත් ඔහුට අවබෝධ කර දිය හැක්කේ එවන් ක්‍රියාමාර්ගයකින් පමණක් වනු ඇත.
COMMENTS