මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම යන ජ්‍යෙෂ්ඨ සංවිධායකරුන් පක්ෂයේ රදවා ගැනීමට දැඩි උත්සහයක් කළත් පක්ෂයට සතුරුකම් කිරීම, පක්ෂයේ සිටිමින්...
මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම යන ජ්‍යෙෂ්ඨ සංවිධායකරුන් පක්ෂයේ රදවා ගැනීමට දැඩි උත්සහයක් කළත් පක්ෂයට සතුරුකම් කිරීම, පක්ෂයේ සිටිමින් නව පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීම වැනි හේතු නිසා ඔවුන් ඉවත්කිරීමට සිදුවුණා යැයි මහනුවරදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කිවේය.
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් මධ්‍යම පළාත් දෘෂ්‍යාබාධිත සංගමය සංවිධාන කළ සැමරුම් උත්සවයක් ඉකුත්දා (14) මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාලයේදී පැවැති අතර ඉන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.
ඉවත් කළ ආසන සංවිධායකවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව හෝ මධ්‍යම කාරක සභාව නියෝජනය නොකරන බවත් ඔවුන් පක්ෂයේ සුලුතර කොටසක් පමණක් වන බැවින් ඔවුන්ගේ ඉවත්වීම පක්ෂයට සැලකිය යුතු බලපෑමක් නොවන බව කී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි අය ඉවත්ව ගිය විට එය පක්ෂයට ප්‍රබල බලපෑමක් වුණා. ඔවුන් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව සහ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ අතර ඔවුන් සමග ඉවත්වූ පිරිස් ද එම සභා බහුතරයක් නියෝජනය කළා. ඒ නිසා එවකට ඔවුන්ගේ ඉවත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල බලපෑමක් වුණා.
පසුගියදා ඉවත් කළ ආසන සංවිධායකවරුන් ඉවත් කළේ ඔවුන් තුළ තිබුණු අදක්ෂකමක් මත නොවෙයි. ඔවුන් අති දක්ෂයි. නමුත් පක්ෂයට සතුරුකම් කළා.
මේ සතුරුකම් කිරීමට වගකිවයුත්තේ ඔවුන් නොව හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතායි. අප කිසිවෙකුගෙන් නොවිමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට සතුරුකම් කරනවා. ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් කිරීමටයි. ඒ තුළින් ඔහු සිය පවුලට හා දරුවන්ට දිගු කාලීන වාසියක් ලැබෙතැයි අපේක්ෂා කරනවා. නමුත් එය රටට, පක්ෂයට හා පාක්ෂිකයාට සිදුකරන විශාල අපරාධයක් යැයි මම විශ්වාස කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොරටුව හිටපු ජනාධිපතිවරයාට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට ද අප සමග හිටපු නියෝජිතයන්ට ද විවෘතයි. ඕනෑම අයෙකුට පක්ෂය හා එක්විය හැකි සහෝදරත්වයක් අප පක්ෂය තුළ එහි වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්මාණය කොට තිබෙනවා.
පක්ෂය තළ පවතින මෙම අර්බුදය නිමා කළ හැකි එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතායි. පක්ෂය බෙදන්න හොද නැහැ, පක්ෂය කඩන්න හොද නැහැ, එක්ව පක්ෂය රැක ගත යුතු යැයි එතුමා කියනවා නම් සියලු දෙනා යළි පක්ෂය හා එක්වනු දැකිය හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මහින්ද රාජපක්ෂ යනු ප්‍රබල චරිතයක්. රට ත්‍රස්තවාදයෙන් එතුමා නිදහස් කළා. ඒ නිසා එතුමා වටා විශාල පිරිසක් එක්ව සිටිනවා. එතුමාගේ ශක්තියේ එල්ලිලා තමයි ඔය පොඩි පොඩි කැරපොතු පක්ෂ රැදී සිටින්නේ."
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වෙනවා නම් එතුමා සමග සිටින ගෙම්බෝ, මැස්සෝ, කැරපොත්තෝ වැනි සියලු පක්ෂ යළි එක්වන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
- නුවර නදීක දයා බණ්ඩාර
COMMENTS