ඇමරිකාවේ මාෂල් ලෙගසි ආයතනය විසින් මෙම ගෞරවය පුද කරන්නේ යුද්ධයෙන් පීඩිත රටවල ජනජීවිත නගා සිටුවීම සඳහා අසාමාන්‍ය මෙහෙවරක් සිදුකළ පුද්ගලයන් ...
ඇමරිකාවේ මාෂල් ලෙගසි ආයතනය විසින් මෙම ගෞරවය පුද කරන්නේ යුද්ධයෙන් පීඩිත රටවල ජනජීවිත නගා සිටුවීම සඳහා අසාමාන්‍ය මෙහෙවරක් සිදුකළ පුද්ගලයන් වෙත ය.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ බිම් බෝම්බ සොයාගැනීම සඳහාම විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛ කණ්ඩායම MDD (Mine Detection Dogs) යන කෙටි නමින් හඳුන්වනු ලබයි. එම කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකාවක වන “යැංකි” සහ ඇගේ පුහුණුකරු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බිම්බෝම්බ නිවාරණ මානුෂීය මෙහෙයුම් ඒකකයේ ලාන්ස් කෝප්‍රල් ටී.කේ.ඩී. රාජපක්ෂ මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙවර සම්බන්ධයෙන් යැංකී, ලාන්ස් කෝප්‍රල් ටී.කේ.ඩී. රාජපක්ෂ සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ බ්‍රිගේඩියර් කමාන්ඩර් අමිත් සෙනෙවිරත්න මහතා ද මේ අනුව 2017 2017 Mines Detection Dog Team of the Year නමැති මෙම සම්මානයෙන් පිදුම් ලබන ලදී.
සම්මාන ප්‍රදානය සිදුකෙරුණේ මාෂල් ලෙගසි ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පෙරී එෆ්. බැල්ටිමෝර් මහතා විසිනි. උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ හිටපු රාජ්‍ය ලේකම් මැඩලීන් ඕල්බ්‍රයිට් විසිනි.
මේ වන විට ශ්‍රී ලංකා යුධ හමුදාවේ MDD කණ්ඩායමේ බිම් බෝම්බ අනාවරණය සඳහා විශේෂ පුහුණුව ලැබූ සුනඛයෝ 30 දෙනෙක් සිටිති. ඔවුන්ගෙන් බහුතරය යුධ හමුදාව වෙත ලබාදීම සඳහා අනුග්‍රහය දක්වා තිබෙන්නේ ඇමරිකාව ඇතුළු විදේශිකයන් විසිනි.
මෙසේ සම්මානයට පාත්‍ර MDD යැංකී ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත ලබාදී ඇත්තේ ඇමරිකාවේ කනෙක්ටිකට් ජනපදයේ බිම් බෝම්බවලට එරෙහි දරුවෝ නමැති සංවිධානයක් විසිනි. මේ වසර මුලදී සේවයෙන් විශ්‍රාම යන තෙක් යැංකී, වසර 6 ක් මුළුල්ලේ එකී යුධ හමුදා ඒකකය තුළ සේවය කරමින්, බිම්බෝම්බ ඉව කරමින් ජන ජීවිත බේරාගැනීම සඳහා අමිල මෙහෙයක් ඉටු කළාය.
මීට පෙර 2016 වසරේදී මෙම සම්මානය දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ බිම්බෝම්බ නිවාරණ මානුෂීය මෙහෙයුම් ඒකකයේ ‘MDD ඇල්වින්’ සහ ඇගේ පුහුණුකරු වූ ලාන්ස් කෝප්‍රල් නවරත්න විසිනි.
වසර 2020 දී ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.
- අමාලි ජයවීර
COMMENTS