නව පනතට අනුව ඒ ඒ පළාත් පාලන ආයතනයට අයත් වන සභික ධූර ප්‍රමාණය සම්බන්ධයෙන් තවමත් ගැසට් නිවේදනයක් නිකුත් කර නොතිබීම මැතිවරණ කොමිසමේ කටයුත...
නව පනතට අනුව ඒ ඒ පළාත් පාලන ආයතනයට අයත් වන සභික ධූර ප්‍රමාණය සම්බන්ධයෙන් තවමත් ගැසට් නිවේදනයක් නිකුත් කර නොතිබීම මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධාවක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි.
නව පනතට අනුව සභික ධූර සංඛ්‍යාව 50% කින් පමණ ඉහළ යාමට නියමිත අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ගණන් බැලීම් තවමත් සිදුකර නොමැත.
වසර ගණනාවක් තිස්සේ මෙරට ඡන්දදායකයන්ට තම ප්‍රදේශයේ ගැටලුවලට වගකියන පළාත් පාලන ආයතනවල ස්වකීය නියෝජිතයන් පත්කර ගැනීමට සඳහා පවතින මෙම අවසන් බාධකය හැකි ඉක්මනින් ඉවත් කර මැතිවරණ කොමිසමේ කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙස පැෆ්රල් සංවිධානය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
අදාල ලිපිය පහතින් දැක්වේ.
ෆයිසර් මුස්තාපා මැතිතුමා,
ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය,
අංක. 330 ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත,
කොළඹ 02.
2017.10.16
ගරු අමාත්‍යතුමනි,
පළාත් පාලන සංස්ථාපන ගැසට් පත‍්‍රය ප‍්‍රකාශයට පත් කිරීම
මහනගර සභා, නගර සභා ප‍්‍රාදේශිය සභා ආඥාපනත් සංශෝධනයට අදාල පනත් කෙටුම්පත ගරු කථානායක තුමන්ගේ අත්සන යෙදූ වහාම සංශෝධනයට අදාල ගැසට් පත‍්‍රයේ දළ සැකැස්ම මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරීම පිළිබඳව අප ස්තූතිවන්ත වෙමු.
එහෙත් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ හැකියාව ලැබෙනුයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස ඔබතුමන් ඒ ඒ පළාත් පාලන ආයතන වල සභික ධුර ප‍්‍රමාණ නිශ්චිත කරමින් සංස්ථාපන ගැසට් පත‍්‍රය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුවය.
එබැවින් අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ පළාත් පාලන මැතිවරණයට අදාල අවසන් බාධකයද ඉවත් කරමින් සංස්ථාපන ගැසට් පත‍්‍රය මෙම සතිය තුළ නිකුත් කර මේ රටේ මිලියන 15 පමණ වන ඡන්ද දායකයන්ට තම පළාත් පාලන නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩකඩ සලසන ලෙසයි.
මෙයට,
විශ්වාසී,
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක
පිටපත - මහින්ද දේශප‍්‍රිය මැතිතුමා, සභාපති, මැතිවරණ කොමිෂන් සභාව
උනන්දුවක් දක්වන සෙසු ආයතන
COMMENTS