මේ යටතේ අධ්‍යාපන අමාත්‍යංශයට ද අලුතින් ලේකම්වරයෙකු පත්කළ අතර ඔහු එම අමාත්‍යංශයේ වැඩ භාරගැනීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු අධීක...
මේ යටතේ අධ්‍යාපන අමාත්‍යංශයට ද අලුතින් ලේකම්වරයෙකු පත්කළ අතර ඔහු එම අමාත්‍යංශයේ වැඩ භාරගැනීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු අධීක්ෂණ නිළධාරියෙකු ලෙස අමාත්‍යංශයට පත්කර යැවීම ද සුවිශේෂී කරුණක් විය.
එම නව ලේකම්වරයා අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසු ඔහුගේ අභිමතය පරිදි අමාත්‍යංශයේ ඉහළ තනතුරු බොහොමයක් වෙනස්කම්වලට භාජනය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යංශයේ ප්‍රසම්පාදන හා ඉදිකිරීම් අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස දීර්ඝ කාලයක් තම රාජකාරිය අකුරටම ඉටුකළ සහ එම අංශයේ නිළධාරීන්ගේ මහත් ප්‍රසාදයට ලක්ව සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය වූද එස්.පී. ජයතුංග මහත්මියට රජයේ වෙනත් ආයතනයකට මාරුවීමක් ලැබිණි.
එයින් පුරප්පාඩු වූ අමාත්‍යංශ ප්‍රසම්පාදන හා ඉදිකිරීම් අංශයේ අතිරේක ලේකම්වරයා ලෙස, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ අනුරාධ විජේකෝන් නැමැත්තෙකු පත්කළ අතර ඔහු ගැන සොයාබැලීමේදී අනාවරණය වූයේ එම නිළධාරියා ලේකම්වරයාගේ සමීපතම හිතවතෙකු බවයි.
තවද ඔහු ප්‍රසම්පාදන ක්‍රියාවලියට ආධුනිකයෙකු වන අතර කලින් සේවය කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදු වූ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වංචා හා දූෂනවලටද සෘජුවම මැදිහත්වූවෙකි. එහෙත් ඔහු නව පත්වීමෙන් පසු එකී අංශයේ නිළධාරීන් කැඳවා කියා සිටියේ තමන් ඉතාමත් ගුණගරුක රාජ්‍ය සේවකයෙකු බවත් එම අංශයේ රාජකාරී ඉතාමත් විනිවිදභාවයෙන් ඉටුකිරීමට බැඳී සිටින බවත්ය. නමුත් ඔහුගේ යටි අරමුණ එය නොවන බව, පත්වීම ලැබී නොබෝ දිනකින් ප්‍රසම්පාදන අංශයේ දීර්ඝ කාලයක් සේවය කළ සහ එකී විෂයපථය පිළිබඳව මනා දැනුමක් ඇති නිළධාරීන්, කිසිදු අදාලත්වයක් නොමැති වෙනත් අංශවලට මාරුකර හැර ප්‍රසම්පාදන අංශයට එකී විෂයපථයට ආධුනිකයන් අනුයුක්ත කිරීමෙන් මනාව පැහැදිලි විය.
එම නව නිළධාරීන්ගේ ආගමනයෙන් පසු එතෙක් කාර්යක්ෂමව සිය කාර්යයන් කිසිදු පාර්ශ්වයකට අවාසි නොවන ආකාරයෙන් සිදුකළ සහ වාර්ෂික ප්‍රසම්පාදන සැළැස්මට අනුකූලව කටයුතු කළ එකී අංශය කඩා වැටීමට ලක් වූ අතර එමනිසා එම අංශයේ සහකාර ලේකම්වරිය නිතර නිතර සැපයුම්කරුවන්ගේ සහ ලේකම්වරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.
පසුව දිනෙන් දිනම එම අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශය පරිහාණියට පත් වූ අතර එය කිසිදු ගණනකට නොගත් නව අතිරේක ලේකම්වරයා තම යටි අරමුණු මුදුන්පත් කර ගැනීමට දවසේ වැඩි කොටසක් තම කාලය වැය කළේය. තවද ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී තමන් සමග සම්බන්ධකම් පැවැත්වූ සැපයුම්කරුවකු අධ්‍යාපන අමාත්‍යංශයට ගෙන්වා ගැනීමට ද අමතක නොකළේය. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස උසස් පෙළ සිසුන්ට ටැබ්ලට් පරිගනක ලබාදීමේ ටෙන්ඩරය ගෙනහැර දැක්විය හැකිය.
2017 අයවැය යෝජනා යටතේ උසස් පෙළ සිසුන්ට ටැබ්ලට් පරිගනක ලබාදීමට වත්මන් රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම ටැබ්ලට් පරිගනක (195,148) මිලදී ගැනීම සඳහා 2017.06.05 දින පුවත්පත් දැන්වීමක් මගින් මිල ගණන් කැඳවන ලදී. මේ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක් ද අමාත්‍යංශය විසින් පත් කරන ලදී.
මෙ තාක්ෂණ ඇගයීම් කමිටුවට ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පරිගනක අංශයේ මහාචාර්යවරයෙක්, තොරතුරු තාක්ෂණ ආයතනය නියෝජනය කරමින් සාමාජික මහතෙකු, මුදල් අමාත්‍යංශය නියෝජනය කරමින් නිළධාරී මහත්මියක් සහ අධ්‍යාපන අමාත්‍යංශය නියෝජනය කරමින් අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ලත් නියෝජිතයන් සමග 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඇතුළත් විය. මේ සඳහා අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙක්, ගණකාධිකාරීවරියක්, කොමසාරිස්වරයෙකුගෙන් සැදුම් ලත් අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේද අනුමැතිය ලැබිණි.
අදැල අමාත්‍යංශයේ ඇමතිවරයාගේ සහ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව අදාල තාක්ෂණික කමිටුව විසින් මෙම ටැබ්ලට් පරිගනක මිලදී ගැනීම සඳහා පිරිවිතරයක් සකස් කරන ලදුව රුපියල් ලක්ෂ 05 ක නැවත නොගෙවන මුදල් තැන්පතුවක් සහිතව ප්‍රසම්පාදන ලියකියවිලිද මිලදී ගැනීම සඳහා ලංසුකරුවන්ට පුවත්පත් දැන්වීම් ලද දිනයේ සිට අනුමැතිය ලබා දී තිබිණි.
එමෙන්ම ලංසුකරුවන්ට එම ලංසු ලියකියවිලිවල ඇති ගැටලු සහ පිරිවිතර පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර ලංසු සාකච්ඡාවක් (pre-bid meeting) 2017.06.15 දින අමාත්‍යංශයේ පැවැත්වීමට තීරණය කර තිබිණි.
එම සාකච්ඡාව සඳහා තාක්ෂණ කමිටු නිළධාරීන්, අමාත්‍යංශ ප්‍රසම්පාදන නිළධාරීන්, අමාත්‍යංශ ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම්වරයා සහ අදාල නිළධාරීන් සහභාගි වූ අතර ලංසුකරුවන් නියෝජනය කරමින් 50 කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. ඒ අතර අදාල ලංසුකරුවන්ගේ මව් සමාගම් නියෝජනය කරමින් විදේශීය නියෝජිතයන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.
එම සාකච්ඡාව පැය කිහිපයක් පැවති අතර එහිදී ලංසුවෙහි ඇති දෝෂ සහ අදාල පිරිවිතරයන් පිළිබඳව ද සාකච්ඡා වූ අතර සියලු දෙනාගේ එකඟත්වය මත අවසාන පිරිවිතර සහ ලංසුවේ නිවැරදි කිරීම් ඉක්මනින් ලබාදීමට අතිරේක ලේකම්වරයා විසින් පොරොන්දු විය. ඒ අනුව ලංසුවෙහි සහ පිරිවිතරයන්හි තිබූ සුළු දෝෂ නිවැරදි කර එකී තීරණ ලංසු මිලදී ගත් සියලු දෙනාට ලබාදීමට අමාත්‍යංශය විසින කටයුතු කරන ලදී. ඒ අනුව වඩාත් තරගකාරී ලංසු ඉදිරිපත් කිරීම සඳහා ලංසු බාරදෙන අවසන් දිනය වන 2017.06.28 තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ඔවුන් විසින් කටයුතු කරන ලදී. අවසාන දිනය ලෙස සටහන් වූයේ 2017.07.12 දිනය.
එකී කරුණු අනුව නැවත නොගෙවන රු. 500,000 ක තැන්පතු සමග ලංසු මිලදී ගත් ලංසුකරුවන් දස දෙනෙකු එකී ලංසු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් අදාල දිනය එළඹෙන තෙක් බලා සිටියහ.
නමුත් එක්වරම 2017.07.11 දින පුවත්පත් දැන්වීමක් පළකරමින් අමාත්‍යංශය දැනුම් දෙනු ලැබූයේ එම ලංසු ඉදිරිපත් කිරීමේ කාලය තවත් දින 19 කින් දීර්ඝ කර ඇති අතර එකී දිනය ලෙස 2017.07.31 වන දින ලෙස සටහන් කර තිබිණි.
ලංසු භාරදීමේ අවසන් දිනයට දිනක් තිබියදී එම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ලංසු මිලදී ගත් සියලු ලංසුකරුවන් ඉතා මවිතයට පත් වූ අතර ඒ සඳහා අදාල හේතුව අමාත්‍යංශය ප්‍රසම්පාදන අංශයෙන් දිගින් දිගටම විමසීම් කළද ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලබාදීමට ඔවුන් අපොහොසත් විය. මේ පිළිබඳව ලංසුකරුවන් තුළ මහත් සැකයක් පැවති අතර දිගින් දිගටම සොයා බැලීමේදී පහත කරුණු ඔවුන් හට අනාවරණය කර ගැනීමට හැකි විය.
අදාල අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා විසින්, විශේෂඥ තාක්ෂණ කමිටුවක් විසින් අනුමත කරන ලද නූතන අධ්‍යාපන ක්‍රමයට සරිලන සහ ඉගැන්වීම් ක්‍රියාවලියට පහසුවක් වන ලෙස සකසන ලද අදාල ටැබ්ලට් පරිගනකයෙහි පිරිවිතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ විධායක නිළධාරියා වන මුහුන්තන් කනකේ මහතා විසින් යම් තෝරාගත් පාර්ශ්වයකට වාසි සහගත වන පරිදි සැකසීමට ලිඛිතව කළ ඉල්ලීම පිළිගෙන අදාල ලියකියවිලි තාක්ෂණ කමිටු නිළධාරීන්ට ඉදිරිපත් කිරීමෙන් පසු එයට තාක්ෂණ කමිටු නිළධාරීන් අකමැති වීම නිසා සහ අතිරේක ලේකම්වරයා විසින් ටෙන්ඩරය අවලංගු කර නැවත පිරිවිතර සකසා අලුතින් ටෙන්ඩරය පළකිරීමට අදාල ලියකියවිලිවලට අදාල ප්‍රසම්පාදන නිළධාරීන් අත්සන් නොතැබීම නිසා අදාල ක්‍රියාවලිය සකසා ගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීමට මේ දීර්ඝ කිරීම සිදුකර ඇති බවය.
තවද ටැබ්ලට් පරිගනකයෙහි පිරිවිතරයන්හි සඳහන් Microsoft ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉතා සුළු මුදලකට (ඩොලර් 02) ලබාදෙන මෙතෙක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් වෙත සපයා ඇති, සියලු පරිගනකවල අඩංගු, සිසුන් විසින් පරිහරණය කිරීමට පුරුදු සහ සියලු අධ්‍යාපන මෘදුකාංග පාවිච්චි කළ හැකි Windows මෙහෙයුම් පද්ධතිය සහ office පැකේජය වෙනුවට අනාරක්ෂිත මෙන්ම ලෝකයේ බොහෝ පිරිස් විනෝදාස්වාදය සහ දුරකතන ඇමතුම් ලබා ගැනිමට පමණක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් වන Android ආදේශ කර ඇති බවයි.
මෙකී සියලු කාරණා හමුවේ අදාල අමාත්‍යංශයේ ප්‍රසම්පාදන නිළධාරීන් දැඩි අර්බුදයකට පත්ව ඇති අතර අතිරේක ලේකම්වරයාගේ තනි කැමැත්තට සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ විධායක නිළධාරීවරයාගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමට ඉහළ නිළධාරීන් දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් අදාල ටෙන්ඩරය අවලංගු කර අලුතින් තාක්ෂණික කමිටු නිළධාරීන් පත් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා ලිපියක් යැවීමට කටයුතු කර ඇති බව වාර්තා විය. එම නිසා ලංසු බාරදීමේ අවසන් දිනය ලෙස පැවති 2017.07.31 දින තවත් සති තුනකින් එනම් 2017.08.22 දක්වා දීර්ඝ කිරීමට ඔවුන්ට සිදු විය. එය ද ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් පළකරන ලදී.
මෙකී අර්බුද සහ අමාත්‍යංශ ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයාගේ මැදිහත්වීම් හමුවේ එකී ටෙන්ඩරය 2017.08.22 දින විවෘත කළ අතර ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් 10 ක් ඒ සඳහා තම ලංසු ඉදිරිපත් කර තිබිණි. එකී ලංසුවල මුළු වටිනාකම අඩු ලංසුවේ සිට පිළිවෙලට රු. බිලියන 4.1 සිට 10 දක්වා තිබිණි.
ඉන් අනතුරුව අදාල ටෙන්ඩරයෙහි කලින් දන්වා තිබූ පරිදි සැපුයුම්කරවුන්ට තම ටැබ්ලට් පරිකනක සාම්පල ඉදිරිපත් කිරීමට 2017.09.07 දින දක්වා අමාත්‍යංශය විසින් ඉඩ ලබා දී තිබිණි. එකි අවසන් දිනයට ප්‍රථම පිළිවෙලින් අඩුම ලංසුවේ සිට සැපයුම්කරුවන් 07 දෙනෙකු තම ටැබ්ලට් පරිගනක සාම්පල ලබාදුන් අතර අදාල ටෙන්ඩරයෙහි ඇගයීම් කටයුතු ඉන් අනතුරුව තාක්ෂණික කමිටු නිළධාරීන් විසින් අරඹන ලදී.
මෙම ඇගයීම් කටයුතු දෙස මහත් ඕනෑකමින් බලා සිටි ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයා මෙම ටැබ්ලට් පරිගනක ටෙන්ඩරයට ද ලංසු ඉදිරිපත් කළ, තමන් සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙදී සම්බන්ධකම් පැවැත්වූ Metropolitan ආයතනයත් සමග කලින් කතිකා කරගත් පරිදි අනෙකුත් ලංසු ඉදිරිපත් කළ ආයතන තාක්ෂණික ඇගයීම් වාර්තාවෙන් ඉවත් කිරීමට ඉතා සූක්ෂ්ම සැළසුමක් සකස් කරන ලදී.
එහි ප්‍රතිඵලය වූයේ ටෙන්ඩරය විවෘත කිරීමට පෙර කිසිදු විග්‍රහයක් නොදැක්වූ ටැබ්ලට් පරිගනක පිරිවිතරයෙහි සඳහන් ඇමරිකානු එක්සත් ජනපදයේ ෆෙඩරල් කොමිසමට පමණක් වලංගු වූ යම් සහතිකයක් එකී අර්ථකතනය වෙනස් කර සියලු ලංසුකරුවන්ගේ තම ටැබ්ලට් පරිගනකයට අදාල එකී සහතිකය ලබා දෙන ලෙස ලිඛිතව දැනුම්දීමයි. මේ සඳහා ඉතා සූක්ෂ්ම ලෙස තාක්ෂණික ඇගයීම් කමිටු සභාපතිවරයා ද සම්බන්ධ කර ගැනීමට අතිරේක ලේකම්වරය අමතක නොකළේය.
ඉන්පසු ටෙන්ඩරය විවෘත කිරීමට පෙර සහ පසු ලංසු සාකච්ඡාවේදී කිසිදු ආකාරයකින් විග්‍රහයක් නොදැක්වූ එකී අර්ථකතනය වෙනස් කළ සහතිකය ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසු ඉල්ලා සිටීම ගැන ලංසුකරුවන් මවිතයට පත් වූ අතර තමන්ට ඇති එකී සහතික ඔවුන් විසින් පැහැදිලි කිරීමක් ද සමග අමාත්‍යශංය වෙත ඉදිරිපත් කරන ලදී.
පසුව සොයා බැලීමේදී අනාවරණය වූයේ ඔවුන් විසින් ඉල්ලා ඇති සහතිකය ලංසුකරුවන් අතරින් අතිරේක ලේකම්වරයා සබඳකම් පවත්වන Metropolitan ආයතනය ඉදිරිපත් කළ ටැබ්ලට් පරිගනකයට පමණක් ඇති බවත් එම සහතිකය ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට අදාල ටැබ්ලට් පරිගනක අපනයනය කළයුතු බව සහ මව් සමාගමේ ශාඛාවක් එක්සත් ජනපදය තුළ පවත්වාගෙ යායුතු බවත්ය.
එකී කරුණු නිසා අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම් 07 ක් තාක්ෂණික ඇගයීම් වාර්තා අනුව අදාල සහතිකය නොමැතිකමින් ඉවත් වූ අතර ලංසුවල මිල ගණන් අනුව 08 වන ස්ථානයේ පසු වූ රුපියල් බිලියන 7.4 කට වැඩි ලංසුවක් ඉදිරිපත් කළ අදාල සමාගම පමණක් තාක්ෂණික කමිටු සභාපතිවරයා විසින් අතිරේක ලේකම්වරයාගේ අනුදැනුම සහතිව තෝරා පත්කර ගන්නා ලදුව ටෙන්ඩරය ඔවුන්ට ප්‍රදානය කිරීමට මේ වනවිට සැළසුම් සකසමින් පවතී.
මෙකී කාරණා හමුවේ ගම්‍ය වන සුවිශේෂී කරුණ වන්නේ අනුරාධ විජේකෝන් නැමැති අමාත්‍යංශයේ ප්‍රසම්පාදන හා ඉදිකිරීම් අතිරේක ලේකම්වරයා තම සුපුරුදු මුදල් ගරා ගැනීමේ කාර්යය අදාල සමාගම සමග එකතු වී සිදුකරන බවත් ඒ සඳහා ඔවුන් විසින් දැඩි ප්‍රයත්නයක් දරන අතර එකී ටෙන්ඩරය එම සමාගමට ලබා දුනහොත් රුපියල් බිලියන 3.2 කට වැඩි අලාභයක් රජයට සිදුවන බවය.
වංචා-දූෂණවලින් තොර රටක් බිහි කිරීමට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රධාන අමාත්‍යංශයක වගකිවයුතු නිළධාරියෙකු විසින් ඇමතිවරයාද නොමග යවා කරන, දැයේ දරුවන්ට තාක්ෂණික මෙවලම් ලබාදීමේ ටෙන්ඩරයේ මහා පරිමාණ දූෂණ හා වංචා හමුවේ අදාල අමාත්‍යංශයේ ලේකම්වරයාගේ මුණිවත රැකීම ඔහුද මේ සඳහා අනුබල දෙන්නෙකු මෙන්ම කොටස්කරුවෙකු ද යන වග ප්‍රශ්නාර්ථයකි.
COMMENTS