වමේ පක්ෂ සහ අනෙකුත් කණ්ඩායම් එක්කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස...
වමේ පක්ෂ සහ අනෙකුත් කණ්ඩායම් එක්කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. පසුගිය සතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කමිටු ශාලාවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් වන මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, විජිතමුනි සොයිසා, ලක්ෂ්මන් යාපා, අතාවුද සෙනෙවිරත්න ඇතුළු ඇමැතිවරුන් පිරිසක් සමග මීට අදාළ මෙහෙයුම් මණ්ඩල සාකච්ඡාවක් ද පවත්වා ඇති බව ශ්‍රී ලනිපයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු බලය ලබාගත් පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කිරීමටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත්ව සිටි ජාතිවාදී කණ්ඩායම් සහ ආගමික අන්තවාදීන් ඉවත් කිරීමටත් මේ සාකච්ඡාවල දී තීරණය කර ඇත. අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ යටතේ ඉදිරි මැතිවරණවලට තරග කළ යුතුය යන ස්ථාවරයේ සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ආසන සංවිධායකවරුන් ද මෙසේ පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණයකට තරග කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි. එහි දී දූෂිතයන් සහ අන්තවාදීන් ඉවත් කළ යුතු බව ඔවුන්ගේ ද මූලික කොන්දේසියක් වී තිබේ.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතුවලින් ඉවත්ව, කළකිරී සිටි ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද මෙසේ පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කිරීමට එකඟ වී ඇත. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් කටයුතුවලට ද මුලින් සහභාගි වී තිබීම විශේෂත්වයකි.
මේ අනුව පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට ද සැලසුම් කර ඇති බවත්, ඉදිරියේ දී ගම් මට්ටමින් පක්ෂ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීමද සිදු වනු ඇති බවත් අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
COMMENTS