ජාතික ප්‍රශ්නයක් හේතුවෙන් ජාතික ව්‍යාපාරයක් එහිදී අදහස් දැක්වූ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ එම්. සත්තිවේල් පිය...
ජාතික ප්‍රශ්නයක් හේතුවෙන් ජාතික ව්‍යාපාරයක්
එහිදී අදහස් දැක්වූ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ එම්. සත්තිවේල් පියතුමා, "රජය කියන්නේ දේශපාලන සිරකරුවන් නැහැයි කියලා. ඔවුන් කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත්තු ත්‍රස්තවාදීන් තමයි ඉන්නේ කියලා. ඒ නිසා ඔවුන්ව නිදහස් කරන්න බැහැයි කියනවා. අනිත් අතින් ඒ රජයම කියනවා නීතිමය ක්‍රියාදාමයක් යන නිසා නීතිමය විසඳුම් දෙන්න ඕනේ කියලා. TNA එක කියන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම තමා ලොකුම දේ, ඒ නිසා මේවා කතා කරලා වැඩක් නැහැයි කියලා. සුමන්දිරන් වගෙ අය ඉන්නේ නඩු වලින්ම විසඳා ගමුයි කියන තැනක. දෙමළ සමාජය පොදුවේ ගත්තාම ඔවුන්ටත් මේක ඉඩම්, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය වගෙ ඒවා තරම් සෘජුව දැනෙන එකක් නෙවෙයි. දකුණේ සමාජයට මේක අදාලම නැහැ වගේ.
ඒ නිසා දේශපාලන සිරකරුවන් උපවාසයේ යෙදෙන වෙලාවක විතරයි ඔවුන් ගැන සමාජයට පේන්නේ. අනිත් වෙලාවට ඔවුන් හුදෙකලා වෙලා ඉන්නේ. ඒත් මේක උතුරේවත් දකුණේවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ රටේ දේශපාලනයේ යෙදිලා ඉන්න හැමෝගෙම ප්‍රශ්නයක්. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය 'ජාතික ව්‍යාපාරයක්' කියලා අපි කියන්නේ ඒකයි. මොවුන්ව නිදහස් කර ගැනීම එක් ප්‍රදේශයක, එක් ජනකොටසකගේ වැඩක් නෙවෙයි. අපි හැමෝගෙම වැඩක්" යි පැවසීය.
71, 89 පුළුවන් නම් මේ අයට බැරි ඇයි ?
"71, 88-89 කැරළි වලදී බොහොම කෙටි කලකින් ප්‍රශ්න විසඳුවා. ඒත් දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු 8ක්. රජයෙන් සංඛ්‍යාලේඛන ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. අපි සතුව ඇති සංඛ්‍යාලේඛන අනුව දැනට 130 - 135 අතර ප්‍රමාණයක් දේශපාලන සිරකරුවන් ඉන්නවා. ඔවුන් නිදහස් නොකරන්න හේතු පැහැදිලි නැහැ. ඒත් එක් දෙයක් පැහැදිලියි, ජාතිවාදය පදනම් කරගත්තු හේතු මත තමයි ඔවුන්ව නිදහස් නොකර ඉන්නේ" යි ද සඳහන් කළ පියතුමා "මහින්ද රාජපක්ෂගේ කාලේ 12,000ක් නිදහස් කළා. නැවත කතරගම දක්වා එක්කරගෙන ගිහින් උත්සව පවත්වලා 600ක් නිදහස් කළා. තව මේ අතරේ නඩු වලින් 2000 - 3000 අතර ප්‍රමාණයක් නිදහස් වුණා. මේ 130 විතරක් ඒවගේ නිදහස් කරන්න බැරි ඇයි" යනුවෙන් ප්‍රශ්න කළේය. එසේම දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය පසෙකලා ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් කතා කිරීමේ හැකියාවක් නොමැති බව ද එතුමා වැඩි දුරටත් අවධාරණය කළේය.
දැනට බන්ධනාගාර ගතව සිටින දේශපාලන සිරකරුවන් අතරින් 35 දෙනෙකු පමණ අධිකරණයෙන් දඬුවම් නියම වී සිටින බවත් තවත් 85 දෙනෙකුට පමණ එරෙහිව දැනට අධිකරණයෙහි නඩු කටයුතු ක්‍රියාත්මක වන බවත් තවත් 15 දෙනෙකු පමණ තවමත් නඩු හෝ නොමැතිව රැඳවුම් භාරයේ සිටින බවත් දේ.සි.නි.ජා. ව්‍යාපාරයෙහි ප්‍රකාශකයකු පැවසූ අතර යුද්ධයෙන් 8 වසරකට පසු 2017දීත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීම් සිදුවී ඇති බවත් හෙළිදරව් කළේය.
සෘජුව වගකිව යුතු අය නොවේ
නඩු කටයුතු වලට සහභාගී වන අය අතරින් බහුතරය ද වසර 6ක් 7ක් පමණ කාලයක් පුරා තවමත් ඉදිරිපත් කෙරෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට පමණක් වන අතර ඉදිරියේදී ඔවුන්ට එරෙහිව මහාධිකරණයෙහි චෝදනා ගොනු කෙරෙනු ඇත. එනම්, ඔවුන්ගේ නඩු තව බොහෝ කලක් තිස්සේ විභාග වීමට නියමිතය. එසේම පෙරකී දඬුවම් ලැබූවන්ගෙන් ද 80%ක්ම අධිකරණයෙහි චෝදනා විභාග කොට දඬුවම් නියම වූවන් නොව නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්චාකොට වරද පිළිගෙන සිරදඬුවම් ඉල්ලා ගත්තවුන්ය. දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබා ගැනීම ඉවසා සිටිය නොහැකි වූ රැඳවියන් මෙසේ වරද පිළිගෙන දඬුවම් ඉල්ලාගෙන තිබේ. එහෙත් මෙය කිරීමට ද නීතීඥයින්ට වියදම් කිරීම සඳහා යහමින් මුදල් තිබිය යුතුය. එසේම මේ නඩු පවරා ඇති බොහෝ දෙනා ද ඒ ඒ සිදුවීම් වලට සෘජුවම වගකිවයුතු පුද්ගලයින් නොව ඒවාට වක්‍රාකාරයෙන් සහය දුන් බවට චෝදනා ලත් උදවියය. සමහරුන්ට එම සිදුවීම් වලට කොහෙත්ම අදාල නොවන පුද්ගලයින්ය. උදාහරණයක් ලෙස, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නඩුවට වසර 15ක් තිස්සේ රඳවාගෙන සිටි එක් තැනැත්තියක් අවසානයේ නිදොස්කොට නිදහස් වීය. එහිදී වසර 390 බැගින් සිර දඬුවම් නියම වූ තිදෙනාගෙන් එක් අයකු ඔහුගේ ජීවිත කාලය පුරාවට වව්නියාවෙන් පහළට නොපැමිණි අයෙකි.
එසේම දැනට අධිකරණයෙහි පවත්වාගෙන යන නඩු කටයුතු ද බොහෝවිට දින කල් දැමෙනවා විනා විභාග කිරීමක් නොමැත. සමහර නඩු අවුරුද්දකටම කැඳවෙන්නේ වතාවක් හෝ දෙවතාවක් පමණි. එසේම දැනට රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් අතරින් බහුතරය අවම වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි සාමාජිකයින් හෝ නොවේ. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි ඉහළම නායකයින් වූ කරුණා අම්මාන්, කේ.පී. වැන්නන් අදටත් නිදහසේ සිටිති.
නීතිය ජාතිවාදී පදනමින් ක්‍රියාත්මක වෙන ආකාරයක්
එමෙන්ම මෙම නඩු කටයුතු ක්‍රියාත්මක වන ආකාරයෙහි ද වෙනස්කම් තිබේ. උතුරු නැගෙනහිර අධිකරණවල දී බොහෝ විට දේශපාලන සිරකරුවන්ට එරෙහි නඩු දීර්ඝ කල් දැමීම් වලින් තොරව විභාගයට ගැනේ. එහෙත් දකුණේ අධිකරණ වල දී එසේ නොවේ. මේ නඩු සඳහා එකම සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරෙන්නේ සිරකරුන්ට පහර දී වධ හිංසාවට ලක් කොට ඔවුන්ගෙන් අත්සන් ලබාගත් පාපොච්චාරණ ලියවිලි පමණි. සිංහල භාෂාවෙන් ලිය වී ඇති මේ ලියවිලිවල පවතින්නේ මොනවාදැයි කියාවත් බොහෝ සිරකරුවන් දන්නේ නැත. එහෙයින් ම උතුරු නැගෙනහිර අධිකරණ වල දී බොහෝ විට මෙම පාපොච්චාරණ ලියවිලි ස්වේච්ඡාවෙන් ලබා දුන් ඒවා නොවන බවට පිළිගෙන චූදිතයින් නිදහස් කෙරෙන අවස්ථා ඇත. එහෙත් දකුණේ අධිකරණ වලදී බොහෝ විට සිදුවන්නේ මේ ප්‍රබන්ධ ලියවිලි සැකකරුවන් විසින් ස්වේච්ඡාවෙන් ම ලබාදුන් ඒවා ලෙස පිළිගෙන දඬුවම් නියම කිරීමය. මෙහිදී අධිකරණය ජාතිවාදී පදනමකින් ක්‍රියාත්මක වන ආකාරයක් පෙන්නුම් කෙරෙන බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
මුදල් ගෙවා සිර දඬුවම් ඉල්ලා ගැනීම
මෙම නඩු විභාගයන් හි සිදුවන්නේ අදාල පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක්ද නැද්ද යන්න විභාග කිරීම පමණි. එය ස්වේච්ඡාවෙන් දුන් එකක් ලෙස පිළිගැනුනහොත් ගොනුකොට ඇති චෝදනාවන්ට අදාලව දඬුවම් පැමිණවීම සිදුවේ. වෙනත් කිසිදු සාක්ෂි විමසීමක් සිදුකෙරෙන්නේ නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි පවතින විසකුරු බව මෙයයි. සහකාර පොලිස් අධිකාරීවරයකු හෝ ඊට ඉහළ නිලධාරියකු ඉදිරියේ සැකකරුවකු විසින් ලබාදුන් බව පවසා අධිකරණයට ඉදිරිපත් කෙරෙන ප්‍රබන්ධ ලියවිලි මත පදනම් වෙමින් සැකකරුවන්ට මරණීය දණ්ඩනය පවා පැමිණවීමේ හැකියාව මේ හරහා ලැබේ.
මේ රැඳවියන් බොහෝවිට වරද පිළිගෙන දඬුවම් ඉල්ලා ගන්නේ නඩු කල් යෑම හේතුවෙනි. වසර හත අට දහය තරම් කල් නඩු තීන්දු නොමැතිව බන්ධනාගාරගතව සිටීම ඉවසා සිටිය නොහැකි තැන ඔවුහු වරද පිළිගනිති. එය කරන්නට ද යහමින් මුදල් තිබිය යුතුය. අවසානයේ සිරදඬුවම් ඉල්ලාගන්නේත් විශාල මුදලක් වැයකොටය. සැබැවින් ම මෙම නඩු ගැන සලකා බැලීමේදී මේවාට සාධාරණ නීතිමය පදනමක් නොමැති බව ප්‍රකාශ කළ හැකිය.
විශේෂ අධිකරණ කොට උඩ
එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයින්ගේ නඩු විභාග කිරීම සඳහා රජය අවස්ථා තුනක දී විශේෂ අධිකරණ තුනක් පිහිට වූ නමුත් දැන් එම අධිකරණ එකක්වත් ක්‍රියාත්මක නොවන බව ද දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් එල්ල වුණු පීඩනය හමුවේ මෙසේ විශේෂ අධිකරණ පිහිටුවන බව රජය ප්‍රකාශ කළ ද දැන් සියළුම නඩු කටයුතු කෙරෙන්නේ සාමාන්‍ය අධිකරණය යටතේමය. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැනට භාවිතා නොකරන බව රජය කීවත් තවමත් අත් අඩංගුවට ගැනීම් සිදු කෙරෙන බවත් අලුතින් නඩු 35ක් ගොනු කිරීමේ සූදානමක් පවතින බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කර සිටී.
එසේම පුනරුත්ථාපනය වූ පුද්ගලයින් නැවත අත් අඩංගුවට ගැනීමේ වාතාවරණය ද සකස් කෙරෙමින් පවතින බව ඔවුහු පෙන්වා දුන්හ. යාපනය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය කන්නදාසන් මහතා යුද්ධයෙන් පසුව එසේ පුනරුත්ථාපනය ලබා නැවත පැමිණ සිටියදී 2013 වසරේ නැවතත් අත් අඩංගුවට ගෙන නඩු පැවරූ පවත් අවසානයේ ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වූ බවත් පෙන්වා දෙන ඔවුහු එම නඩු තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරයා එම තීන්දුව සම්බන්ධයෙන් තමන්ගේ කණගාටුව පළ කළ බවත් පවසති.
දේශපාලන තීන්දුවක් ගන්න
මේ සියල්ල ම සලකා බලන විට දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය සඳහා සාමාන්‍ය නීතිය යටතේ විසඳුම් නොමැති බව පෙන්වා දෙන දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නේ රජය විසින් මේ පිළිබඳව දේශපාලනික තීන්දුවක් ගෙන මේ සිරකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතු බවය.
- රුවන් නෙළුගොල්ල
සබැඳි පුවත් -
15,000කට බැරි වුණු දෙයක් 160ක් කරයිද ? 'කොටි නැඟිටිනවා' කියන්නේ විහිළුවක් - එම්. සත්තිවේල් පියතුමා
COMMENTS