හිරේ යන එක ෆන් වැඩක් නො වන බව එයින් ම පෙනෙනවා ය. හිරේ ජීවිතය ගැන හිතාගන්නට උවමනා නම් බැඳලා හදන බල්ලකුගේ ජීවිතය හිතින් මවා ගන්න. ...
හිරේ යන එක ෆන් වැඩක් නො වන බව එයින් ම පෙනෙනවා ය.
හිරේ ජීවිතය ගැන හිතාගන්නට උවමනා නම් බැඳලා හදන බල්ලකුගේ ජීවිතය හිතින් මවා ගන්න.
එය ඉතා කටුක ය. විශේෂයෙන් ම, වියපත් මිනිසුන්ට එය ඉතා දුෂ්කර ය. ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වන්නට සිදු වීම එහි ඉතාම කටුක තත්වයයි.
සිරදඬුවමකට ලක්ව බන්ධනාගාරගත වූවෙකුට සිය පවුලේ අය පමණක් මසකට වරක් හමු විය හැකි ය. ආහාර පාන කිසිවක් පිටතින් ගෙන්වා ගැනීමට බැරි ය. බිරියන්ගෙන්, සැමියන්ගෙන්, දරුවන්ගෙන් හිටි හැටියේ එසේ වෙන් වීම පහසු නැත. එය දුරකථන ඇමතුම්, ස්කයිප් කෝල් සහිතව පිටරට චාරිකාවකට ගියා සේ නොවේ.
ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක්කුස්සිය හෝ ළඟ ය.
සෙල් හෙවත් සිරමැදිරි තුළ එක්කෝ තනිව, නැතිනම් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග රැය පහන් වන තුරු සිටිය යුතු ය. සෙල් එකට දමා වැසූ පසු පසුදා පහන් වන තෙක් මුත්‍රා, මළපහ කළ යුතු වන්නේ ඒ සඳහා දෙන බාල්දියකට ය. එය කුටිය තුළ ම තබා ගත යුතු ය. මේ කුටිවල බොහෝ විට වාතාශ්‍රය දුර්වල ය. සාමාන්‍යයෙන් සියලු සිරගෙවල් අධික ලෙස තදබද ය.
සිරගෙදරට අඳින ජම්පරය යයි කියන කොට කලිසම හා බැනියම සහිත ඇඳුම ඉතා රළු එකකි. බලවතුන්ට අවසර ගෙන ගෙදරින් සීමිත ඇඳුම් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පුළුවන. එහෙත්, එහි ස්වභාවය ද කලින් කී පරිදි ම ය.
නාගැනීම නලාවට අනුව ය. ශාරීරික පිරිසිදුකම පවත්වා ගැනීම ලෙහෙසි නැත.
සාමාන්‍යයෙන් උදේට පාන් හා පොල් සම්බෝල ද, දවල්ට හා රෑට මස් හෝ මාළු හෝ බිත්තර හෝ සමග බත් ද ලැබේ. බෙරි වූ, නීරස, නිසි ලෙස නො සෝදන ලද ආහාර ලැබීම සාමාන්‍ය දෙයකි. කල්දේරම්වල තම්බන ලද උඩ තෙල් පාවෙන තේ යයි හැඳින්වෙන කහට වර්ගයක් ද බාල හකුරු සමග දිනකට දෙවරක් ලැබේ.
හිරගෙදරදී රසට ප්ලේන්ටියක් බොන එක පවා ඉතා දුෂ්කර ය. තත්වය හිතා ගන්නට ඒ ඇතැයි සිතමි.
දුරකථන ඇමතුම්, අන්තර්ජාලයට පිවිසීම, අවසර සහිත මාධ්‍ය හැර වෙනත් මාධ්‍ය පරිහරණය නීති විරෝධී ය.ලියුම් ලිවීමට පවා අවසර ඇත්තේ මාසයට දෙකකි. එය ද තැපැල් කිරීමට පෙර කියවනු ලැබේ. එන ලියුම් ද කියවා ඇතැම් කොටස් වාරණය කරනු ලැබේ.
රෝගාබාධ සහිත අයට වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් විය හැකි ය. තදබල රෝගාබාධ ඇති අය මාංචු දමා, ආරක්ෂාව සහිතව ප්‍රසිද්ධ රෝහල්වලට ඇතුළත් කරනු ලැබේ.
බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලද අයට කිසියම් වැඩ කණ්ඩායමක හෙවත් පාටියක වැඩ කරන්නට ද සිදු වේ.
සිරගෙදර වනාහි ලිංගික අපයෝජන බහුල තැනකි. පිරිමින් විසින් පිරිමින්ව දූෂණය කිරීම සුලබව සිදු වේ. පැමිණිලි කරන්නට ගියොත් උණු පොල්තෙල් ඇස්වලට ගසා අන්ධ කිරීම, හැංගී සිට කටුවලින් ඇණ තුවාල කිරීම හෝ මරා දැමීම වැනි ක්‍රියා කරන අය සිටිති. ඇතුළේ සිටින සිරකරුවන් ලවා තරහකරුවන් මරා දැමීමේ සිට බලෙන් ගුද සංසර්ගය කිරීම දක්වා දේ කොන්ත්‍රාත් දෙන්නට ද පුළුවන්කම තිබේ. මේවා ගැන කියා ආරක්ෂාව ඉල්ලන්නට පුළුවන. එවිට ඔබට පැය 24 ම සිර කුටියක් තුළ සිටිය හැකි ය.
බලවතුන්ට බන්ධනාගාර පරිපාලනයට බලපෑම් කර හෝ අල්ලස් දී හෝ හිතවත්කම් මත හෝ යම් වරප්‍රසාද ලබා ගත හැකි මුත්, ඒවා අයිතිවාසිකම් නො වන නිසා පොරවල් සේ සිටින්නට බැරි ය. ඒ වෙනුවෙන් දරන්නට සිදු වන වියදම් ඉතා අධික ය.
හිනා වෙවී හිරේ යන අය ගේට්ටුවෙන් ඇතුළු කර ලියාපදිංචි කිරීමේ පටිපාටිය හරහා යන විට අභිමානය අවසන්ව, අවමන් සහගතබව හා ආත්මානුකම්පාව සමග අවපීඩනයට පත් වෙති.
ඔය අව් අස්සේ සිරේට නියම වන ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බාහිර සමාජයේ මාධ්‍ය විසින් මතු කරන විට, බන්ධනාගාර නිලධාරීන්ට ද තමන්ගේ රස්සාවට කෙළවා ගන්නවා ද නැතිනම්, නීති ප්‍රකාරව කටයුතු කරනවා ද යන්න ගැන දෙවරක් සිතන්නට සිදු වේ.
බන්ධනාගාර නිලධාරීන් ගැන කියන්නට තිබෙන්නේ මෙයයි. යම්කිසි ලක්ෂණ නිසා අප පොලිස් නිලධාරීන් නරක යයි කියනවා නේද? එම ලක්ෂණ පැත්තෙන් බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන්ට වඩා අන්ත ය. ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල සිරකරුවන්ට කතා කරන්නේ, සලකන්නේ ඉතා අවමන් සහගතව ය.
මධ්‍යම පංතික මිනිසුන්ට, ගැහැණුන්ට සිරගෙදර ජීවිතය කිසි සේත් ම දරා ගත හැකි එකක් නො වේ. එය අතිශය පීඩාකාරී අත්දැකීමකි. කිසි දිනෙක කිසිවකුට අත් නො විය යුතු ශෝචනීය ඉරණමකි.
සිරගත නො වන පරිදි වැඩ කරන්නට අප පරිස්සම් විය යුත්තේ එහෙයිනි.
COMMENTS