දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාඨකයන් ත්‍රස්ත කරවන අරුන්දතී රෝයිගේ ප්‍රබන්ධ සාහිත්‍ය පුනරාගමනය
Homeප්‍රවෘත්ති

පාඨකයන් ත්‍රස්ත කරවන අරුන්දතී රෝයිගේ ප්‍රබන්ධ සාහිත්‍ය පුනරාගමනය

PropellerAds

මේ අතරම ඇය වසර 5ක් තිස්සේ නවකතාවක් රචනා කිරීමෙහිද නියැලුනාය. 1997 වසරේ The God of Small Things නමින් පළවූ එම නවකතාව මාස කිහිපයක් තුල පිටප...

පහටට වරධය හමව අසරථක ව රසවමන පස අද තයන රසවමට මහනදට බසලට සගරට වශෂ ආරධනවක!
පරලමනතව වසරවනන සදනම SJB ජනපත සමග ආණඩ කරනන සදනම!
අධකරණ ලපය භර දමට නහකය සජන ඉනන තන හයය
පාඨකයන් ත්‍රස්ත කරවන අරුන්දතී රෝයිගේ ප්‍රබන්ධ සාහිත්‍ය පුනරාගමනය

මේ අතරම ඇය වසර 5ක් තිස්සේ නවකතාවක් රචනා කිරීමෙහිද නියැලුනාය. 1997 වසරේ The God of Small Things නමින් පළවූ එම නවකතාව මාස කිහිපයක් තුල පිටපත් ලක්ෂ 4ක් අලෙවි වූ අතර Booker ත්‍යාගයද හිමිකර ගැනීමට සමත් විය. ඉන්දියාව තුලම ජීවත් වන ඉන්දියානුවෙකුට හෝ ඉන්දියානු කාන්තාවකට එම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව එය විය. එයින් පසුව ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම ප්‍රකට නවකතාකාරිය බවට පත් වූ ඇය පසුව සිය රටෙහි දේශපාලන ක්‍රියාකාරකම්වලට එක් වූ අතර දශක 2ක් ගතවන තුරුම ඇගේ අතින් ප්‍රබන්ධ කෘතියක් බිහිවූයේ නැත.

දැන් ඇගේ දෙවැනි නවකතාව එලිදැක්වී ඇති අතර ඇගේ දේශපාලනය එය පිළිසිඳ ගැනීමේ එක් හේතුවක් වූ බව පැහැදිලිය. The God of Small Things මූලික වශයෙන් 1960 දශකයේ එක්තරා පවුලක් පසුබිම් කරගෙන තිබූ අතර බිහිසුණු අවස්ථාවන් කීපයක් ඇතුලත්ව තිබුණත් එහි ආ ශෝකාන්තයන් සංවෘත, පෞද්ගලික ඒවා විය. එහෙත් The Ministry of Utmost Happiness සමස්ත ඉන්දියාව හා එහි පසුගිය අඩ සියවසක පමණ දේශපාලනය පසුබිම් කරගන්නා අතර මෙහි විවරණය කෙරෙන ශෝක පීඩාවන් ජාතියකටම පොදු ඒවා වෙයි. එහෙත් අරුන්දතී රෝයිගේ රචනා චාතූර්යය හෝ එහි ලාක්ෂණිකයන් වෙනස්වී ඇති බවක් මෙයින් අදහස් නොවේ. පළමු නවකතාවේදී මෙන්ම මෙහිදීද ඇගේ සමායෝජනීය ප්‍රතිභාව කැපී පෙනෙයි. නවකතාව ඇරඹෙන්නේ මෙපරිද්දෙනි.
"හිරු බැසගිය එහෙත් එලිය නොපහව ගිය ඉන්ද්‍රජාලමය හෝරාවේදි පැරණි සුසාන භූමියෙහි වූ නුග ගස් අතරින් මෑත්ව ආ සිගාල සේනා දුමාරයක් මෙන් නගරය හරහා පාව ගියහ. වවුලන් බැහැරව යද්දී කපුටෝ තම නිවහන් කරා පැමිණියහ. ඔවුන් තම නිවෙස් කරා පැමිණීමෙන් ඇතිවූ ගාලගෝට්ටිය, අතුරුදන්ව ගිය ගේ කුරුල්ලන් හා සහමුලින්ම භූමි තලයෙන් අතුගෑවී ගිය, වසර කෝටි දහයකට අධික කාලයක් තිස්සේ මළවුන්ගේ භාරකරුවන්ව සිටි, පැරණි පිට සුදු ගිජු ලිහිණියන් විසින් ඉතිරිකොට ගිය නිහැඬියාව සහමුලින්ම නැති කරන්නට සමත් වූයේ නැත. ගිජු ලිහිණියන් මිය ගියේ ඩයික්ලොෆෙනැක් විෂවීමෙනි. මස්පිඬු ඉහිල් කොට, වේදනාව අඩුකරවා කිරි නිෂ්පාදනය වැඩිකරලීම සඳහා ගවයන්ට ලබා දුන් ඩයික්ලොෆෙනැක් හෙවත් හරක් ඇස්පිරින්, පිට සුදු ගිජු ලිහිණින්ට ස්නායු විෂක් විය. මිය ගිය, රසායනිකව ඉහිල්වූ පේශි ඇති සෑම කිරි එළදෙනක්ම හෝ මීදෙනක්ම ගිජු ලිහිණින්ට විෂ කැවූ ඇමක් විය. ගවයෝ වඩාත් හොඳ කිරි නිපදවන යන්ත්‍ර බවට පත්වත්ම, නගරය වැඩි වැඩියෙන් බටර් ස්කොච් ක්‍රන්ච්, නටි බඩි, චොකලට් චිප් අයිස් ක්‍රීම් කත්ම, අඹ මිල්ක්ෂේක් බොත්ම ගිජු ලිහිණි ගෙලවල් අධික වෙහෙස නිසා තව දුරටත් ඍජුව තබා ගැනීමට බැරිව ගියාක් මෙන් එල්ලා වැටෙන්නට පටන් ගත්තේය. රිදී සුදු පැහැති දළ රැවුල් මෙන් ඔවුන්ගේ හොටවල්වලින් කෙළ වැගිරෙන්නට වූ අතර එකිනෙකා මැරී වසා සිටි අතුවලින් බිමට ඇද වැටෙන්නට වූහ."

මේ විස්තර කෙරෙන්නේ කවියන් විසින් මහත්වූ අලංකාරෝක්ති වලින් යුක්තව සොඳුරු ලෙස වර්ණනා කෙරෙන සන්ධ්‍යා කාලය වුවත් මෙහි එය අමනුෂ්‍ය පරිගෘහිත නිවසක් මෙන් වවුලන් හා කපුටන්ගෙන් පිරී ඇත. බටර් ස්කොච් - ක්‍රන්ච්, නටි - බඩි අයිස්ක්‍රීම් තිබුණත් ඒවා සාදා ඇත්තේ විෂවලින්ය. කුරුල්ලන්ට, නත්තල් සීයලාට මෙන් රිදී සුදු පැහැ දිග රැවුල් ඇතත් ඒ ඔවුන්ගේ හිස් කඩා වැටී පණ අදිමින් සිටින බැවිනි. එමෙන්ම ඒ කුමන වර්ගයක කුරුල්ලන්ද? මළකුණු කා ජීවත්වන ගිජු ලිහිණියන්ය. කාර්මිකකරණයෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳ කුඩා කතිකාවක් වන මෙම ඡේදය, බොහෝදුරට ප්‍රහසනයක් වූ උත්ප්‍රාසාත්මක රංගයක් ලෙසද දැක්වේ. ඒ අතරම එය බෙහෙවින් ශෝකාකූලය. අප අයිස් ක්‍රීම් කා මියගිය විට අප වැටුණු තැන පිරිසිදු කරන්නටවත් කෙනෙකු නොසිටිනු ඇත. සියලුම ගිජු ලිහිණින් අපට පෙර මිය ගොස් සිටිනු ඇත.
කතාව ඇරඹෙන්නේ 1950 දශකය වැනි කාල වකවානුවක වසර 6ක් තිස්සේ ගැහැණු දරුවන් තිදෙනෙක් හදා වඩා ගෙන, පිරිමි දරුවෙකු බලාපොරොත්තුවෙන් පසුවන ජහනාරා බෙගම් නමැති දිල්ලියේ වෙසෙන ගෘහණියක් දරු ප්‍රසූතිය සඳහා යන අවස්ථාවෙනි. සිය පැතුම ඉටුවූ බව ඉක්මනින්ම වින්නඹුව ඇයට දැනුම් දෙයි. ඇය පුතෙක් ලබයි. එය ඇගේ ජීවිතයේ ප්‍රීතිමත්ම රාත්‍රිය බවට පත්වෙයි. උදෑසන ඈ දරුවා ඔතා ඇති රෙදි ඉවත් කර ඔහුගේ සිරුර සිසාරා බලයි. "ඔහුගේ කුඩා සිරුර, ඇස් නාසය, හිස, ගෙල, අත්ල, අතැඟිලි, පා ඇඟිලි තෘප්තිමත්, නිසංසල ආශාවකින් යුතුව. ඔහුගේ පුරුෂ අංග වලට යටින් කුඩා, හරිහැටි සකස් නොවුණු ස්ත්‍රී නිමිත්තක් ඇති බව ඇයට සොයාගන්නට ලැබෙන්නේ එවිටය." ඇගේ හදවත සොවින් මිරිකෙන්නට වෙයි. ඇගේ දරුවා ද්වි ලිංගිකයෙකි.

ඒ ස්ත්‍රියකගේ බඳු නිමිත්ත නැතිව යනු ඇතැයි ජහනාරා සිතයි. එහෙත් මසින් මස, වසරින් වසර එය දැඩිව එතැනම රැඳී පවතියි. අෆ්තාබ් නම් වන මෙම දරුවා වැඩෙත්ම ඔහු තුල සැඟවිය නොහැකි ස්ත්‍රී ලක්ෂණ පහල වෙයි. "ඔහුට ලක්නව්හි නගර ශෝභිනියකට මෙන් කුසලතාවයක් සහ ස්ථාවරබවක් සහිතව චයිති හා තුම්රි ගායනා කළ හැකිවිය." ඔහුගේ පියා ගායනයට අනුබල නොදෙයි. ඔහු පිරිමින් විසින් කරන ලද වීර ක්‍රියා ඇතුලත් ළමා කථා දරුවාට කියාදෙයි. එහෙත්, දාමරිකයන් විසින් පැහැර ගන්නා ලද තම සුරූපි මනාලිය බේරා ගැනීමට හමුදාවක් සමග තනිව සටන් වදින ජෙන්ගිස් ඛාන්ගේ කථාව අසන අෆ්තාබ්ට අවශ්‍ය වන එකම දේ එම මනාලිය බවට පත්වීමය. ළමුන් සමච්චල් කිරීම නිසා පාසල් යාමට නොහැකිව කණගාටුදායක ලෙස හුදකලා වන ඔහු, නිවසේ සඳළුතලය මතටවී පහල වීදිය දෙස බලා හිඳියි. දිනක් එක්තරා ආකර්ෂණීය ප්‍රාණියෙක් ඔහුගේ නෙත ගැටෙයි. ඒ දීප්තිමත් තොල් ආලේපන ගලවාගෙන, රන්වන් පැහැ සෙරෙප්පු හා දිලිසෙන කොළ පැහැ ෂල්වාර් කමීසයක් හැඳි, උස, සිහිනිඟැති ගැහැනියකි. "ඔහු දළ බෑවුමක් සහිත තරප්පු පෙළ සීඝ්‍රයෙන් බැස වීදියට ගොස් කඩින් කඩ ඈ පසුපස ගියේ ඈ එළු ගාත්, කොණ්ඩ කටු, පේර මිලට ගෙන තම සෙරෙප්පු පටි සවිකර ගන්නා අතරතුරේය."

එදිනත්, ඊට පසු දින ගණනාවකුත් ඔහු ඈ පසුපස නිල් පැහැති ද්වාරයක් සහිත වූ ඇය වසන නිවස කරා යයි. ඇගේ නම බොම්බේ සිල්ක් බවත්, 'සිහින නිවහන' නම්වූ ඇය සිටින නිවසේ ඇය වැනිම වූ බුල්බුල්, රසියා, හීරා, බේබි, නිම්මෝ, ගුඩියා සහ මේරි යන නම් වලින් යුතු තවත් සත්දෙනෙක් වාසය කරන බවත් දැනගනියි. මොවුන් සියලු දෙනා අඩු වැඩි වශයෙන් පිරිමින් ලෙස උපත ලබා ඇති අතර සියල්ලන්ටම එක්කෝ ගැහැණුන් වීමේ අවශ්‍යතාව හෝ තමන් දැනටම ගැහැණුන්ය යන හැඟීම ඇත. ඔවුන් අතුරින් සමහරෙක් සැත්කම් මගින් තම ලිංගේන්ද්‍රියයන් වෙනස් කරගෙන සිටිති. ඔවුහු තම ජිවිකාව සලසා ගන්නේ ගණිකා වෘත්තියෙනි. ඔවුන් මෙන් වීමට නොහැකි වුවහොත් තමා මිය යනු ඇතැයි අෆ්තාබ්ට සිතෙයි. විශාල ගමන් වාර ගණනාවකින් පසුව ඔහුට ඔවුන්ගේ නිවාසයට ඇතුලු වීමට හැකිවෙයි. ඊට පසු වර්ෂයේ ඔහුගේ වයස අවුරුදු පහළොවක් වූ පසු ඔවුහු ඔහුව ඇතුලට ගනිති. මෙම ප්‍රජාවේ පූර්ණ කාලීන සාමාජිකයෙකු බවට පත්වන ඔහු තම නම අන්ජම් ලෙස වෙනස් කරගනියි. ඔහුගේ පියා ඉන් පසු කිසිදිනක ඔහු සමග -හෝ ඇය සමග- කතා බහ නොකරයි. (මෙතැන් සිට ඔහුව හැඳින්විය යුත්තේ ඇය යනුවෙනි ) ඇගේ මව දිනපතා ඇයට උණුවෙන් කෑම පිළියෙල කර යවන අතර ඔවුහු වරින් වර ප්‍රදේශයේ වූ දේවස්ථානයකදී හමුවෙති. අඩි හයක් උස අන්ජම් දිලිසෙන වැඩ දැමූ මොට්ටැක්කිලියකින් හිස වසාගෙන එන අතර, කෙට්ටු ජහනාරා කළු බුර්කාවකින් සැරසී එයි. "සමහර අවස්ථාවල ඔවුහු රහසින් මෙන් එකිනෙකාගේ අත් අල්ලාගෙන සිටියහ."

ඇමෙරිකානු පාඨකයන්ට නම් මෙය ඉතා කාලීන මාතෘකාවක් සේ පෙනී යනු ඇත. සංක්‍රාන්ති ලිංගික ජනයා සහ ඔවුන් වටා ඇති ප්‍රශ්න, ගැටළු දිනපතාම මෙන් ප්‍රවෘත්ති වලින් අසන්නට දකින්නට ලැබේ. (මෙය මෑත යුගයේ මතකයට නැගෙන,ද්විලිංගිකයන් පසුබිම් කරගත් පළමු වැදගත් නවකතාව නොවේ. 2002 වසරේ පළවූ ජෙෆ් රි ඉයුජිනයිඩ් ගේ Middlesex පුලිට්සර් ත්‍යාගය හිමි කරගත් අතර එක්සත් ජනපදය තුල පිටපත් මිලියන 4ක් අලෙවි විය.) ඉන්දියාවේ හිජ්රා හෙවත්, ජීව විද්‍යාත්මකව පිරිමින් වුවත් තමන් ගැහැණුන් යයි සිතන, ගැහැණුන් මෙන් හඳින පලඳින, ක්‍රියාකරන ජනයා විශාල පිළිගැනීමක් ඇති උප සංස්කෘතියක් ගොඩනගාගෙන තිබේ. බොහෝ විට හිංසනයන්ට ලක්වුවත් මේ වන විට ඔවුහු තුන්වන ලිංගිකත්වයක පිළිගැනීම දක්වාවූ ගමන් මගෙහි කෙලවරකට ළඟාවී සිටිති. ඉන්දියාවේ හා පකිස්ථානයේ ඔවුන්ට ඡන්ද අයිතිය හිමිව ඇත. 1998 වසරේදී ඉන්දියාවේ පළමු හිජ්රා මන්ත්‍රීවරියවූ ෂබ්නම් මෞසි බැනෝ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සභාවට පත්වූවාය.

ඒ ඔවුන්ගේ නීතිමය තත්වයයි. කාව්‍යාත්මකව ඔවුහු මෙම නවකතාව තුල ක්‍රියාත්මක වන ආකාරය බැලුවොත්, මහාභාරතයේ සිටම ඉන්දියානු කථා කලාව අරුමැසිය, සංක්‍රාමණය, වර්ණවත්භාවයට බරව ඇති සෙයක් පෙනෙයි. හිජ්රාවෝද මෙම සම්ප්‍රදායට දායක වෙති. තමන්ට පිරිමින් නොව ගැහැණුන් බවට පත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නෝ නීතියක් ලෙස සිහින් ඉරි සහිත ඇඳුම් නොහඳිති. ඔවුහු රන්වන් පැහැති පටි සෙරෙප්පු හා කොළ සැටින් ෂල්වාර් අඳිති. අරුන්දතී රෝයිගේ සිහින නිවහනේ වැසියෝ තම නියපොතුද පාටකරන අතර බොලිවුඩ් චිත්‍රපටවල ගීත ගායනා කරති. ඔවුන්ගේ ජීවිත සාටෝපවත්ය. විනෝදකාමීය. ඒ අතරම ඔවුහු කෘතියේ එන ශෝකී රසය පාලනය කරන ප්‍රධාන රූපකයද වෙයි. "ඔයා දන්නවද දෙවියෝ හිජ්රාලාව මැව්වෙ ඇයි කියලා?" දිනක් නිවහනේ යෙහෙළියක් වන නිම්මෝ අන්ජම්ගෙන් අසයි. "ඒක පරීක්ෂණයක්. උන් වහන්සෙ තීරණය කළා සතුටක් ලබන්න බැරි ප්‍රාණියෙක්ව මවන්න. ඉතින් උන් වහන්සෙ අපිව මැව්වා." පාඨකයාට මේ ගැන සිතන්නට කතුවරිය පොළඹවයි. සාමාන්‍යයෙන් මිනිසුන් කරදර වන්නේ කෙබඳු අන්දමේ දේවල් ගැනද? "බඩු ගණන් වැඩි වීම, ළමයි ඉස්කෝලවලට ඇතුල්කර ගැනීම ගැන, ගෑනිට ගහන මිනිස්සු, රැවටිලිකාර ගෑනු ගැන, හින්දු - මුස්ලිම් කෝලාහල, ඉන්දු පකිස්ථාන් යුද්ධය ගැන. අන්තිමේදි නිකම්ම විසඳිලා යන බාහිර දේවල් ගැන. ඒත් අපිට ගණන් වැඩිවීම, ළමයි ඉස්කෝලවලට දාන එක, ගෑනිට ගහන මිනිස්සු, රැවටිලිකාර ගෑනු ඔක්කොම අපේ ඇතුලෙමයි. කෝලාහල ගැටුම් අපේ ඇතුලෙමයි. ඉන්දියාව - පකිස්ථානෙ අපේ ඇතුලෙමයි. ඒවා කවදාවත් විසඳෙන්නෙ නෑ. විසඳන්න බෑ."

අන්ජම් තමන්ට වඩා වැඩිමහලු නිම්මෝට විරුද්ධව කථා නොකළත් පසුකලෙක ඇයම වටහා ගනියි. ඇගේ දහ අට වන උපන් දිනය දා සිහින නිවහනෙහි විශාල සාදයක් පැවැත්වෙයි. නගරයේ සෑම දෙසකම සිටින හිජ් රාවෝ එයට පැමිණෙති. මේ අවස්ථාව සඳහා අන්ජම් රතු 'ඩිස්කෝ' සාරියක් සහ පිට නැති උඩුකය ඇඳුමක් මිලට ගනියි.
එදින රාත්‍රියේ තමන් අලුත් මනාලියක් ලෙස මංගල ඇඳුමින් සැරසී සිටිනු ඇය සිහිනෙන් දකියි. ඇය මහත්සේ දොම්නසකින් යුතුව නින්දෙන් අවදිවන්නේ තම ලිංගික තෘප්තිය පිරිමියකුගේ මෙන් ඇගේ අලංකාර වූ ඇඳුම මතට ප්‍රකාශ වී තිබීම නිසාය. ඒ එවැන්නක් සිදුවූ පළමු අවස්ථාව නොවුණත් කිසියම් හේතුවක් නිසා, ඇතැම් විට සාරිය නිසා ඇයට ඇතිවන අවමන් සහගත් හැඟීම වෙන කවරදාටත් වඩා ප්‍රබලවේ. ඇය මිදුලේ හිඳගෙන වෘකයකු මෙන් විලාප තබමින් හඬා වැළපෙන්නේ තම හිසටත්, කකුල් දෙක අතරටත් පහර දීගනිමින් තමන් විසින්ම තමන්ට දඬුවම් කරගැනීම නිසා ඇතිවූ වේදනාවෙනි.
නිවසේ සිටින යෙහෙළියක් නිදි බෙහෙතක් දී ඇයව ඇඳට යවයි

එය ඇගේ දිවියේ අවසන් සුරතාන්තය වෙයි. ඇය ශල්‍ය කර්මයකින් ලිංග විපර්යාසයකට ලක්වෙයි. එහෙත් ඇයට ලැබෙන නව යෝනිය කිසිවිටෙක නියම ආකාරයට ක්‍රියා කරන්නේ නැත. එසේවතුදු ලිංගිකත්වය යනු ඇගේ ජීවිතයේ ප්‍රශ්න වලින් සුළුම එකය. නිම්මෝ කියූ ආකාරයට හින්දු- මුස්ලිම් ගැටුම් හා ඉන්දු-පාකිස්ථාන් යුද්ධය යනු බාහිර ලෝකයේ ඇති ප්‍රශ්න වෙයි. හිජ්රාවන්ගේ ගැටුම අභ්‍යන්තරික වූවක් වන අතර කිසිවිටෙක නතර නොවන්නකි. ඇත්ත වශයෙන්ම මෙම නවකතාවේ නිරූපිත හිජ්රාවන් යනු අන් කිසිවක් නොව ඉන්දියාවමය. 1947 සිදු වූ දෙකඩවීම කතුවරිය සඳහන් කරන ආකාරයට "ඉන්දියාව හා පාකිස්ථානය අතර අලුත් දේශසිමාවේදී දෙවියන්ගේ සිරසේ වූ බල නහරය පුපුරාගිය අතර මිනිසුන් ලක්ෂ ගණනක් වෛරය නිසා මියගියහ. අසල්වාසීහු කිසිදිනක එකිනෙකාව හඳුනාගෙන නොසිටියාක් වැනි තත්වයට පත්වූහ. කිසිදිනෙක එකිනෙකාගේ මඟුල් ගෙවල්වල නොගියා වැනි, එකිනෙකාගේ සංස්කෘතිවලට අයත් ගීත ගායනා නොකළාක් වැනි වූහ." The Ministry of Utmost Happiness හි ප්‍රධාන කථා ප්‍රවෘත්තිය ගොඩ නැගෙන්නේ මේ බිහිසුණු සිදුවීමෙහි ප්‍රතිඵල වලිනි.
එහෙත් මෙය අන්ජම් වැනි කෙනෙකු විසින් පවසනු ලැබිය හැකි කථාවක් නොවේ. ඉන්දියාව මුහුණපා ඇති දුර්දසාව ඇය තුලින් පරිපූර්ණ ලෙස සංකේතවත් වුවත් අරුන්දතී රෝයිගේ කථාව අවශ්‍ය ලක්ෂ්‍යය කරා ගෙන යාමට ඇගේ චරිතය ප්‍රබලතාවයෙන් මඳය. කතුවරිය මේ බව දැකීමට පැකිලී ඇති බවක් පෙනී යයි. ඇය බොහෝ දුරක් අන්ජම් සමග රැඳී සිටිමින් හිජ්රා කථාව අතුරු කතා ඔස්සේ යන්නට ඉඩ හරියි. ඉන් සමහරක් ඉතා අපූර්ව ඒවා වුවත් සමස්තයක් ලෙස ඒ හැම එකකින්ම ගෙන හැර පාන්නේ සොඳුරුබව- ගැටුම, උත්ප්‍රාසය-කරුණාව වැනි එකම හැඟීම් එකතුන් කිහිපයකි. අවසානයේ කතුවරිය දීර්ඝ හුස්මක් ගෙන තම කෘතියේ ප්‍රධාන චරිතය වෙනස් කරයි. ඇය අන්ජම්ගේ උපතත් සමග කෘතිය ආරම්භ කල ආකාරයටම දැන් තවත් උත්පත්තියක් කරා කථාව ගෙනයයි. "සැතපුම් ගණනක් ඈත, කරදරවලින් පිරුණු වනාන්තරයක බිළිඳෙක් උපදින්නට බලා සිටියේය." නවකතාවේ පළමු කොටස අවසන් වන්නේ එම වචන කිහිපයෙනි.

2014 වසරේ ටයිම් සඟරාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අරුන්දතී රෝයි නවකතා කතුවර සිද්ධාර්ථ දේබ් හට පවසා සිටියේ පළමු නවකතාවෙන් පසුව 'කිසිවක් නොලිවීම' ගැන කණගාටුව ප්‍රකාශකරන්නන් නිසා තමන් බෙහෙවින් අපහසුතාවට පත්වූ බවයි. "හරියට මම ලියපු ප්‍රබන්ධමය නොවන දේවල් ලිවීම් නෙවෙයි වගේ" ඇය පවසයි. 1959 වසරේ ඊසාන දිග ඉන්දියාවේ කුඩා නගරයක් වන ශිලොං හිදී උපත් ලැබූ සුසෑනා අරුන්දතී රෝයිට හැදී වැඩෙන්නට සිදු වූයේ දැඩි ශක්තිමත් මනසකිනි. ඇගේ මව කේරළයේ සිරියානු ක්‍රිස්තියානි කාන්තාවක් වූ අතර, තේ වත්තක කළමනාකරුවකු වූ ඇගේ පියා හින්දු ජාතිකයකු වූ අතර බීමට ඇබ්බැහිව සිටියේය. මේ වෙනස් පසුබිම් නිසා ඔවුන්ගේ විවාහය දෙදරා ගියේය. අරුන්දතී දෙහැවිරිදිව සිටියදී ඇගේ මවවි මේරි දරු දෙදෙනාද කැටිව සිය පවුල කරා ගියාය. එහෙත් ඉන්දියාව තුල ස්ව කැමැත්තට විවාහවූ දියණියන් විවාහය අසාර්ථක කරගත් පසුව තම පවුලෙන් හොඳ පිළිගැනීමක් නොලබති. මේරි රෝයි හා ඇගේ දරු දෙදෙනා ජීවත් වූයේ ඥාතීන්ගේ පිහිට හා අනුකම්පාව මතය. අරුන්දතී, සිද්ධාර්ථ දෙබ් හට පැවසූ ආකාරයට ඇගේ මව තමන්ටත් තම සොහොයුරාටත් කූඩයක් දී ඔවුන්ව නගරයට යවයි. වෙළෙන්දෝ ඔවුන් හට තම කඩවල ඉතිරිව ඇති දෙයක් ඔවුන්ට ණයට දෙති. "හුඟක් වෙලාවට හාලුයි, අමු මිරිසුයි විතරයි". මව වරින් වර ඇදුම රෝගයෙන් පීඩා වින්දාය. පසුකාලයක ඇය පාසලක් ආරම්භ කළ බැවින් කාර්ය බහුල වූවාය. තවමත් සිය දෙමාපියන්ගේ විවාහය බිඳ වැටීමෙන් ඇතිවූ කැළල මැකී නොගිය දරුවෝ තමන්ට රිසි අයුරින් ක්‍රියාකළහ. බොහෝවිට ඔවුන්ගේ සගයන් අතර අඩු කුලේ අසල්වාසීන් වූහ.

වයස අවුරුදු දහසයේදී වඩා හොඳ ජීවිතයක් බලාපොරොත්තුවෙන් නිවසින් පිටවූ අරුන්දතී දිල්ලියේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වූවාය. තමන්ට දැරිය හැකිවූ මුදල අනුව ඇය බොහෝ විට ජීවත්වුණේ මුඩුක්කු හා පැල්පත්වලය. විශ්ව විද්‍යාලයේ උපාධිය ලැබීමෙන් පසු ඇය කාලයක් සිය පෙම්වතා සමග ගෝවේ විසුවාය. එහිදී ඔවුහු කේක් සාදා මුහුදු වෙරලේ විකිණූහ. අරුන්දතී දේබ්ට කියූ ආකාරයට පීඩිතයන් අතරේදී ඇය අසීමිත දුබලකමේ දෘෂ්ටි කෝණයකින් ලෝකය දෙස බැලීමට උගත්තාය. "තාමත් එය මාව අතහැර ගිහින් නෑ"

රසික බලාපොරොත්තු සුන් කරමින් ඇය නවකතා නොලියා සිටි වසර කීපය තුල ඇත්ත වශයෙන්ම සිදුවූයේද මෙයයි. නවීන ඉන්දියාව තුල දැකිය හැකි ප්‍රතිවිරෝධයන් ගැන මාධ්‍ය වලින් නිරතුරුව පැවසෙයි. ප්‍රකෝටිපතියෝ සහ යාචකයෝ එකම පදික වේදිකාවේ ගමන් ගනිති.එකම පාරේ බෙන්ට්ලි රථ මෙන්ම ගොන් කරත්තද එකම පාරේ එකට යති. එක් පසෙකින් වෙළඳාමත්, තවත් පසෙකින් ආකර්ෂණීය සොඳුරු බවත්ය. නවීන ලෝකය හා පැරණි ලෝකය. එහෙත් The God of Small Things ට පසුව අරුන්දතී රෝයි ලියූ කෘති අටෙහිම ඇය නගන තර්කය වන්නේ මේ දෙක වෙන්ව නොපවතින බවයි. නවීන ඉන්දියාව ගොඩනැගී ඇත්තේ පීඩිතයන්ගේ කරපිටය. 1998 වසරේ ඇය ලියූ 'පරිකල්පනයේ අවසානය' (The End of Imagination) නම් ප්‍රකට ලිපියේ එන ඇගේ පළමු ඉලක්කවලින් එකක් වන්නේ එම ඒ වසරේ ඉන්දියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම්ය. බොහෝ ඉන්දියානුවන්ට මෙය ආඩම්බර විය යුතු අවස්ථාවක් විය. අවසානයේ ඔවුන්ගේ රටද ක්‍රීඩාවට එක්විය. එහෙත් අරුන්දතී රෝයිට අනුව මෙම න්‍යෂ්ටික වැඩ සටහන යනු රජය බිලියන ගණනක්වූ රටවැසියන් මුහුණපා සිටින භයානක තත්වයන් ගැන නොසලකා තම බලය පෙන්වීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවට වූ සලකුණකි.

මීළඟට ඇයට විෂය වූයේ ගුජරාට් හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල රජය විසින් ඉදි කරමින් තිබූ වේලි පද්ධතියයි. මෙම ව්‍යාපෘතියද ඉන්දියාව නවීකරණයවීමේ අංගයක් ලෙස හුවා දැක්වුණද එයටද වන්දි ගෙවීමට සිදුවූයේ දුප්පතුන්ටය. ණය බරින් මිරිකුණු ගොවි පවුල් තම ඉඩම් වලින් දොට්ට දැමිණි. (2012 දී ගොවීහු මිලියන කාලක් සිය දිවිනසාගත් බවට වාර්තා විය. එය වාර්තාගතවූ සංඛ්‍යාව පමණක් වූ අතර බොහෝ දෙනෙකු ජීවිත නැතිකර ගත්තේ කෘමි නාශක බීමෙනි ) වේලි ප්‍රශ්නයෙන් පසු අරුන්දතී රෝයි ඊළඟට අත ගැසුවේ ගුජරාටයේ සිදුවූ සමූල ඝාතනය පිළිබඳ ප්‍රශ්නයටයි. බහුතරයක් මුස්ලිම් ජනයා හින්දු අන්තවාදීන් අතින් ඝාතනයට ලක්විය. (එවකට ගුජරාටයේ ප්‍රධාන අමාත්‍යවරයා වූ වත්මන් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම සිද්ධිය ගැන නෑසූ කන්ව සිටීම පිළිබඳව විවේචනවලට ලක්වූයේය.) අරුන්දතී මීළඟට මධ්‍යම ඉන්දියාවේ ගෝත්‍රික ජනයාට එල්ලවූ අතුරු හමුදා ප්‍රහාර පිළිබඳව හඬ නැගුවාය. ඛණිජ වලින් පොහොසත් වූ ඔවුන්ගේ ඉඩම් රජයට අවශ්‍යව තිබුණි. (සති 3කට ආසන්න කාලයක් ඇය ගෝත්‍රිකයන්ව ආරක්ෂා කළ නැක්සලයිට්වාදීන් හා මාඕවාදීන් සමග වනාන්තරවල සැරිසැරූ අතර ඒ බව 2011 වසරේ ඇය විසින් පළ කරන්නට යෙදුණු 'සහෝදර වරුන් සමග ගමනක්'- Walking with the Comrades නම් කෘතියෙහි සඳහන් වෙයි.) පසුව ඇය විශාල මුස්ලිම් ජනගහණයක් ඉන්දියාවෙන් වෙන්වීමට උත්සාහ දරමින් සිටි කාශ්මීරයේ හමුදාව මගින් කෙරුණු අත්පත් කරගැනීම් හෙළා දුටුවාය.

මේ පොත් (ඒවායින් බොහොමයක් එට පෙර පළවූ ලිපිවල එකතුන්ය ) ඇත්ත වශයෙන්ම එකම විෂයයක් සම්බන්ධයෙන් ලියැවුණු ඒවා වෙයි. එනම් නවීන ඉන්දියාව එහි දුප්පතුන් මත සිදුකරන අපයෝජනයයි. රටේ නව මධ්‍යම පන්තිය ගැන ඇය මෙසේ ලියයි. "අපට මඟ සැලසීම සඳහා සියලු දේ අහිමි කරනු ලැබ දිළිඳුභාවයට පමුණුවාලූ මිලියන 800ක, දවසකට ඉන්දියානු රුපියල් 20කටත් අඩු මුදලකින් යැපෙන, අපායෙන් ආ හඬ පමණක් ඇති රූපයක් නැති අවතාර සමග ජීවත් වෙති. "
අරුන්දතී රෝයි විවාදාත්මක කරුණු පිළිබඳව රචනා කිරීමෙහිලා ශූරියකි. ඇය බෙහෙවින් සරල එහෙත් ප්‍රබල, අර්ථ ව්‍යාපක ගද්‍ය ශෛලියකින් ලියයි. අවශ්‍ය අවස්ථාවලදී ඇය 'මුග්ධ','දුඃඛිත', 'සමූල ඝාතන' වැනි වචන භාවිතා කරයි. නිරන්තරයෙන් තමන්ට ඇති සාධක පරික්ෂාවට ලක්කොට ඉදිරිපත් කරන ඇය බොහෝ පොත්වල අගට විශාල සටහන් ප්‍රමාණයක් එක්කරයි. නොහෝදෙනෙක් ඇය කෙරෙහි බද්ධ වෛරයක් ඇතිකර ගැනීමට හේතුව ඇය සතු තර්කන හැකියාව පමණක් නොවේ.
ධනවතුන් නිර්ධනයින් වෙනුවෙන් කථාකරන විට නිරන්තරයෙන් නැගෙන පැනයක් තිබේ. "ඇයි ඔබ ළඟ ඇති ධනය නොදෙන්නේ? " යනුවෙන් නිර්ධනයෝ අසති. එය ප්‍රශ්නයට විසඳුමක් නොවන බව නොකිවමනාය. එමෙන්ම, ඇත්ත වශයෙන් අරුන්දතී රෝයි විශාල ධනයක් පරිත්‍යාගකොට ඇත. උදාහරණයක් ලෙස ඇය දිනූ ත්‍යාග මුදල සම්පූර්ණයෙන්ම පරිත්‍යාගකර තිබේ. පැහැදිලිවම ඇයට මූල්‍ය දුෂ්කරතා නැත. The God of Small Things කෘතියේ පිටපත් මිලියන 6කට වඩා අලෙවි වී ඇත. එහෙත් දුප්පතුන් වෙනුවෙන් හඬනැගිය යුත්තේ නිර්ධනයින්ම පමණද? එය එසේ වුවහොත් දුප්පතුන් දැනට සිටිනවාටත් වඩා දරුණු අගාධයකට වැටෙනු ඇත.

මෙම නවකතාවෙහි එන දීර්ඝ දෙවන අර්ධයෙහි, කතුවරිය අන්ජම් හැරදමා වසර 20ක සමාජ ක්‍රියාකාරිත්වය ඔස්සේ ඇය දැන උගත් මහා ලෝකය වෙත පාඨකයා කැටුව යයි. මෙම කොටසෙහි එන බොහොමයක් සිදුවීම් සිදුවන කාෂ්මීරය තුල පාඨකයනට භීෂණය පිට භීෂණය දැක ගන්නට ලැබෙයි. මිනිස්සු අනෙකාගේ හිස් කුඩු පට්ටම් කරදමති. අනෙකුන්ගේ ඇස් උගුල්ලා දමති. හැම තැනම මළ සිරුරුය. අත් පිටුපසට කර පාදවලට ගැට ගසා ඇත. ඔවුන්ගේ සිරුරු සිගරට්වලින් ඇතිවූ තුවාලවලින් වැසී ඇත. එනම් ඔවුහු වධ හිංසා වලට ලක්ව ඇත. සමහර ජවනිකාවලදී කතුවරිය පාඨකයාව නොමරා මරයි. මේ බන්ඩිපොරා නම් නගරයෙහි ඉන්දියානු හමුදාවේ 'විමුක්තිය' ගැන කියැවෙන කොටසකි. "ගම්මුන් පැවසුවේ එය ආරම්භ වූයේ පෙර දින සවස 3.30ට කියාය. මිනිසුන් බලහත්කාරයෙන් නිවෙස්වල සිට වෙඩි තබන ස්ථානය කරා ගෙනෙන ලදී. ඔවුන්ට ඒමට සිදු වූයේ නිවෙස්වල දොර ජනෙල් හැර දමාය. සාදා තිබූ උණු තේ නොබීමය. කියවමින් සිටි පොත් දිගහැර දමාය. ගෙදර වැඩ අවසන් නොකොටය. කෑම ලිපේ තිබෙද්දීය. ළුෑණු බැදෙද්දීය. කැපූ තක්කාලි කෑම වලට එකතු වීමට බලා සිටිද්දීය." සෑම තැනකදීම කතුවරිය බිහිසුණුබව තත්වූ පරිද්දෙන් දක්වයි. බල්ලෝ රෝහල් සිසාරා ඇවිද්දේ දියවැඩියාව නිසා කපාදැමුණු අත්පා සොයමිනි. ඒ උන්ගේ රාත්‍රි ආහාරයයි.


අපට හමුවන නව ප්‍රධාන චරිතය ටිලෝ බලවත් මිනිසෙකුගේ සහ සිරියන් ක්‍රිස්තියානි ගැහැණියකගේ නීත්‍යානුකූල නොවන දරුවාය. මේ ගැහැණිය තම පාපයන් වසාගනුවස්, අලුත උපන් බිළිඳිය ළමා නිවාසයකට භාරදී පසුව එහි ගොස් ඇයව හදා වඩා ගැනීමට භාර ගනියි. ටිලෝ කාෂ්මීර නිදහස් සටන්කරුවන්ගේ කල්ලියක සාමාජිකාවකි. ඇය එහි සාමාජිකයකු වන මූසා සමග විවාහ වී හෝ නොවී සම්බන්ධතාවක් පවත්වයි. වරක් ඇය ඔහු සමග ගංගාවක බෝට්ටුවක් තුල මීදුම් සහිතවූ රැයක් ගතකරයි. පසුව එතැනින් නික්ම යන මූසා පසුපස ආරක්ෂක අංශ ලුහුබඳියි. ටිලෝද පළායයි. ඇය සමග කුඩා බිඳෙකි. ඒ ඇගේ දරුවෙක් නොව වනයෙහිම උපන් තවත් සටන්කාමියකුගේ දරුවෙකි. මෙම බිළිඳාද සමග ඇය ට්‍රක් රථයකට නගී. එය පදවන්නේ සදාම් හුසේන් නමැති ඇගේ මිතුරෙකි. ට්‍රක් රියේ ඔඉටුප්ස මැරුණු ගවයෙකි. සතා මියගොස් ඇත්තේ කුණුගොඩක වූ ප්ලාස්ටික් බෑග් තොගයක් කෑම නිසාය.


ඔවුහු අලුත් තැනකපදිංචියට යති. ඒ සොහොන් බිමකි. මෙහිදී කථාව යලි වටයක් කැරකෙයි. අන්ජම් මෙහි ජීවත්වෙයි. ඇය මිනී වලදැමූ තැන්වල බිත්ති හා වහලවල් ඉදිකරවා සුසාන භූමිය අමුත්තන්ට නවාතැන් දෙන ලැගුම් හලක් බවට පත්කර ඇත. ආගන්තුකයෝ සොහොන් අතර නිදති. ටිලෝ හා දරුවාට රූපලාවන්‍ය භාණ්ඩ(ලක්මි නිය ආලේපන, තොල් ආලේපන, විලවුන් වැනිදෑ) ඇති බෑගයක් සහිත කාමරයක් ලැබෙයි. එතැන පොළව යට ඇත්තේ බොහෝ කාලයක් ප්‍රදේශයේ වින්නඹු මාතාවක් ලෙස කටයුතු කළ ගැහැණියකගේ සිරුරකි. ඔවුහු එළුමස් කොර්මා, ෂමි කෙබාබ්, පැණි කොමඩු වැනි ආහාර සහිත සාදයකින් යුක්තව පිළිගැනෙති. ඔවුහු ඒවා සුසාන භූමියේ කෙළවරෙක ලේ වැකුණු වෙළුම් පටි හා පාවිච්චි කරනලද ඉදිකටුවලින් සැදි කැදැල්ලක වෙසෙන නිවෙස් අහිමි ජනයා සමග බෙදා හදා ගනිති. එහි පැමිණ, යම් කිසිවක් නොදීම නිසා සියල්ලන්ටම ගුටි බැට දෙන පොලීසිය වෙනුවෙන්ද ඔවුහු ඒවා ඉතිරිකර තබති. ටිලෝ හා දරුවා එහි පදිංචි වෙති. ටිලෝට මූසා අහිමි වුවත් "සොහොන් බිමේ මුරට සිටින යම පල්ලෝ ලෝක දෙක අතර ද්වාරය විවර කරගෙන සිටියේ (නීති විරෝධිව පැල්මක් පමණක් ලෙස ) දැනට සිටින්නන්ගේ සහ මියගිය අයගේ ආත්ම වලට එකම සාදයක අමුත්තන් සේ මුසුවී සිටිය හැකි පරිද්දෙනි."
අරුන්දතී රෝයි විසින් මවනු ලබන ප්‍රචණ්ඩකාරී ජවනිකා මනෝ භ්‍රාන්තිකමය ස්වරූපයක් ගනී. එය සල්මන් රුෂ්ඩිගේ Midnight's Children හි බංග්ලාදේශ නිදහස් සටන ගැන කියැවෙන පරිච්ඡේදවලට හෝ ගාර්ෂියා මාර්කේස්ගේ One Hundred Years of Solitude හි එන කෙසෙල් වතුයායන්හි වෘත්තිය සමිති සටන්වලට සමානවේ. ඇය බොහෝ අවස්ථාවලදී රුෂ්ඩිගෙන් ආභාෂය ලැබූ බව කියැවෙයි. මෙය එක්තරා අන්දමකට ඇයට නොරිස්සුම් සහගතවේ යැයි සිතිය හැක්කේ, ඇය හැමවිටම තම ප්‍රබන්ධයන් ගැන කථා කරද්දී ගෞරවයෙන් සඳහන් කරන්නේ මාර්කේස්ගේ නම නිසාවෙනි. (ඇත්ත වශයෙන්ම මේ දෙදෙනාටම ආභාෂය ලැබී ඇත්තේ මාර්කේස්ගෙන් බව පැහැදිලිය.) 'මකොන්දෝ උන්මාදය' යනු පශ්චාත් යටත් විජිත ඉන්දියාව බව ඇය සඳහන්කර ඇත. ඇත්ත වශයෙන් මේ ලේඛකයන් තිදෙනාම ඉන්ද්‍රජාල යථාර්ථවාදයේ විවිධ වූ ප්‍රභේද භාවිතා කරති. ඔවුහු දේශපාලනික භීෂණය ආයාසයකින් තොරව ප්‍රතිනිර්මාණය කිරීම සඳහා තවත් දෑ සමග මේ රීතිය යොදාගනිති. අරුන්දතී රෝයි සම්බන්ධයෙන් ගත්විට (රුෂ්ඩි සම්බන්ධයෙන්ද මෙය මෙසේම බව කිවයුතුය ) මෙම වෑයම හැමවිටම සාර්ථකවී නැත. යම් යම් අවස්ථාවල විවිධ දිශාවන්ට කථාව හා සිදුවීම් ගමන් කරන විට අපට කථා කර තමන්ට පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යාමට අවශ්‍ය බව කියන නව කථකයා කවුරුද යන ගැටළුව ඇතිවේ. මෙවිට කියවන්නා වික්ෂිප්තභාවයට පත්වේ. කතුවරිය මෙය දන්නා බැවින් සමාව අයැද සිටියි. කාෂ්මීරයේදී ඇය මෙසේ ලියයි. "එහි හොඳ සාහිත්‍යයකට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රුධිරය ඇත." මෙහිදී මතුවන ප්‍රශ්නය වික්ෂිප්තභාවය පමණක් නොවේ. තානයද ඒකාකාර වෙයි. දිගින් දිගටම සෝපාසාහාත්මකය.

සමහර අවස්ථාවල කියවීම කෙතරම් දුෂ්කරවේදයත් විශාල ගැලවීමක්, පිරිසිදු කිරීමක් අවශ්‍ය බව කියවන්නාට හැඟී යයි. කතාවේ අවසන් ජවනිකාවේදී නින්ද නොයන අන්ජම් මැදියම් රැයේ නගරයේ ඇවිදින්නට යන්නේ කුඩා බිළිඳියක්ද සමගය. ඔවුහු පදික වේදිකාවේ නිදාසිටින මිනිසුන් අතරින් යති. ඔවුහු කටු කම්බි පොටක් රැවුලේ දැවටුණු, නිරුවත් මිනිසෙකු පසුකර යති. දැරිය තමන්ට මුත්‍රා කිරීමට අවශ්‍ය බව කියන විට අන්ජම් ඇයව බිමින් තබයි. මුත්‍රා කිරීමෙන් පසු දැරිය සිය තට්ටම් ඔසවන්නේ ඇය තැනූ දිය කඩිත්ත තුල රාත්‍රි අහසේ හා තාරකාවලත්, වසර දහසක් පැරණි නගරයේත් පිළිබිඹුවන් දැකීම නිසා හටගත් විස්මයෙන් යුතුවය. අන්ජම් ඇයව වඩාගෙන, සිප ගෙදරට ගෙන යයි.

වධහිංසා සහ හිස්ගැසුම් ආදියෙන් පසුව යම් සහනශීලිබවක් දැනෙයි. ගැටුම තව දුරටත් යයි. ඉහල යාමේ බල තණ්හාවෙන් පෙලෙන කාෂ්මීර දේශපාලකයෝ මුස්ලිමුන්ට පහරදෙන දර්ශන රූපගත කර යූ ටියුබ් වෙත මුදාහරින බව අරුන්දතී රෝයිගේ කථකයා පවසයි. මෑතකදී ඉන්දීය රජය (නවකතාවේ දැක්වෙන්න නොව සැබෑ ඉන්දියානු රජය ) විරුද්ධ මත යටපත් කිරීමේ අරමුණින් බොහොමයක් සමාජ මාධ්‍ය වෙත තහනමක් පනවන ලදී. එහෙත් තහනමට පෙර එක්කරන ලද විඩියෝ නැරඹිය හැකිය. එවැනි එක් වීඩියෝවක සෙබළුන් පිරිසක් එක්තරා මිනිසෙකුව අල්ලාගෙන සිටියදි තවත් සෙබළෙක් ඔහුට පහර දෙයි. නවකතාවේ මූසා කියන ආකාරයට කාෂ්මීරයේ "දැන් ජීවත් වෙන්නේ, බොරුවට ජීවත් වෙනවා වගේ පෙන්නන මළවුන් විතරයි".

(The New Yorker සඟරාවට ජෝන් ඇකොසෙලා ලියූ විචාරයක් ඇසුරෙන්)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාඨකයන් ත්‍රස්ත කරවන අරුන්දතී රෝයිගේ ප්‍රබන්ධ සාහිත්‍ය පුනරාගමනය
පාඨකයන් ත්‍රස්ත කරවන අරුන්දතී රෝයිගේ ප්‍රබන්ධ සාහිත්‍ය පුනරාගමනය
http://ift.tt/2g9y0ff
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_906.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_906.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy