අප රටේ පරිසර විනාශයට ප්‍රධාන හේතුවක් වන්නේ පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයට වඩා එය බැහැර කිරීමේදී අප අනුගමනය කරන දුර්වල ක්‍රියාමාර්ග නිසා බව ...
අප රටේ පරිසර විනාශයට ප්‍රධාන හේතුවක් වන්නේ පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයට වඩා එය බැහැර කිරීමේදී අප අනුගමනය කරන දුර්වල ක්‍රියාමාර්ග නිසා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
රාජකීය සූර්ය රශ්මි බල සංග්‍රාමය යටතේ කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් කිලෝවෝල්ට් 32 ක සූර්ය බල පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (04) පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඉල්ලීමකට අනුව රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන ලියෝ සතිර සරච්චන්ද්‍ර මහතාගේ සම්බන්ධීකරණයෙන් ජපානයේ “එන්.ජි.පී. සෝලා” ආයතනයේ සභාපති මංජුල සේනාරත්න මහතාගේ පරිත්‍යාගයක් ලෙස මෙම සුර්ය බල පද්ධතිය රාජකීය විද්‍යාලයට ලබාදී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ පසුගිය ගංවතුර සමයේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් විපතට පත් පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල උපකරණ එක්රැස් කොට බෙදා දීමේ කටයුත්තක් සිදුකල බවයි. එම ශිෂ්‍ය නායක කණ්ඩායම තාම ගම් පළාත වන දෙනියායට පැමිණ විපතට පත් දරු දැරියන්ට පාසල් උපකරණ ලබාදෙමින් ශක්තියක් වූ බව එහිදී සිහිපත් කළා. එම ශිෂ්‍ය නායකයින් එම සංචාරයේදී ගංවතුරෙන් සිදුවී තිබෙන විනාශය සියැසින් දුටු බව කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ, විශේෂයෙන්ම ගංගා දෙපස ගස්, පඳුරු ගංවතුරට ගසාගෙන ගොස් තිබියදී පොලිතීන් සහ ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ඉතිරිව තිබූ අයුරු දක්නට ලැබුණු බවයි.
ඒ නිසා පොලිතීන් සහ ප්ලාස්ටික් මේ වන විට දැවැන්ත ප්‍රශ්නයක් වී ඇතිබව අමාත්‍යවරයා කියා සිටියා. මෙම පරිසර විනාශයට හේතුව වන්නේත් පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතයට වඩා එය බැහැරකිරීමේදී අප අනුගමනය කරන දුර්වල ක්‍රියාමාර්ග බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේ. ඒ නිසා අප මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් දැක්විය යුතු බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
එම අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක රාජකීය ශිෂ්‍යන්ට අභියෝගයක්ද ඉදිරිපත් කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහා කල පරිදි රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාව සූර්ය බල පද්ධතිය හරහා සම්පුර්ණයෙන් වායු සමීකරණය කරන්නේනම් ශිෂ්‍යන් තමන් ඉදිරිපත් කරන අභියෝගය බාරගත යුතු බවයි, එහිදී අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ. රාජකීය ශිෂ්‍යන් තමන්ගේ නිවාස සහ නෑදෑ හිත මිත්‍රයන් ඇතුලු තමන් ජිවත්වන පරිසරය ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් තොර පරිසරයක් බවට පත්කරගත යුතු බවයි. එම අභියෝගය බාරගෙන කටයුතු කරන්නේ නම් ප්‍රධාන ශාලාව වායු සමීකරණය කිරීමේ අභියෝගයද තමන් බාරගන්නා බව අමාත්‍ය සාගල රත්නායක එහිදී වැඩි දුරටත් සදහන් කළා.
මෙම උත්සව සභාව අමතු විදුලි බල හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ සූර්ය බල විදුලි පද්ධතිය තුලින් නොමිලේ විදුලිය ලැබෙනවා සේම, එමගින් පරිසර සුරක්ෂිත භාවයත් උපරිම ලෙස ආරක්ෂා වන බවයි. තවද ආර්ථික වශයෙන් නැගී සිටින ශ්‍රී ලංකාව වැනි රටකට උචිතම බල ශක්තියක් ලෙස සුර්ය බල ශක්තිය හැඳින්විය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
ජපානයේ එන්.ජි.පී ආයතනයේ සභාපති මංජුල සේනාරත්න මහතා රාජකීය විද්‍යාලයේ විදුහල්පති එච්.බී. අබේරත්න මහතා, ප්‍රධාන ශිෂ්‍ය නායක දිලුක් ද සොයිසා සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක පසිදු ගුණරත්නද මෙහිදී අදහස් දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා, සතිර සරච්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.
COMMENTS