මේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පුරා ඊයේ දිනයේ ඇළවුණු පෝස්ටරයකි. ඇත්තටම රාහුල් ගාන්ධි අතුරුදහන් වෙලාද? පෝස්ටරයේ භාෂාව අනුව හැඟී ගියේ ඔහුව...
මේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පුරා ඊයේ දිනයේ ඇළවුණු පෝස්ටරයකි. ඇත්තටම රාහුල් ගාන්ධි අතුරුදහන් වෙලාද? පෝස්ටරයේ භාෂාව අනුව හැඟී ගියේ ඔහුව කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් කිඩ්නැප් කර ඇති බව හෙවත් පැහැරගෙන ඇති බව ය. පැහැරගන්නට ඔහු පොඩි ළමයෙක්ද? නැත. වයස 47 ක වැඩුණු මිනිසෙකි. ඒ සියල්ලටමත් වඩා, 2019 වසරේදී අගමැති මෝදිට මැතිවරණයේදී හමුවන්නට නියමිත ලොකුම ප්‍රතිවාදියා ය. ගාන්ධි පවුල් උරුමය ද සමගින් මේ වන විට ඉන්දියාවේ අංක එකේ ‘තරුණ ලකුණ’ ඔහු ය.
ඔහුව බීජේපී හෙවත් භාරතීය ජනතා පක්ෂයෙන් පැහැර ගෙන යාමට කිසිම ඉඩක් නැත්තේ අද වන තෙක් ඔහු භාරතීය ජනතා පක්ෂයට විරුද්ධව කිසිම දෙයක් කර නැති නිසා ය. මේ අනුව ‘වැන්ඩෙටා පොලිටික්ස්’ (වෛරී දේශපාලනය) යටතේ ඔහුව පැහැරගෙන ගිය බවට හඬ තැළීමට ඔහුගේ කොංග්‍රසයට කිසිම ඉඩක් නැති වෙයි.
එසේ නම් මේ සිද්ධ වෙන්නේ මොකක්ද?
හින්දි බසින් ලියැවුණු තවත් පෝස්ටරයක මෙසේ දැක්වෙයි. ''Amethi maaniya saansad Shri Rahul Gandhi Amethi se laapata hain” එහි සිංහල අදහස මෙසේ ය. “අමෙති දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඔහුගේ ඡන්ද කොට්ඨාසයෙන් අතුරුදන් ව ඇත”
දැන් කාරණය පැහැදිලි ය.
රාහුල් ගාන්ධි ඇත්තටම අතුරුදහන් ව තිබෙන්නේ ඔහුගේ ඡන්ද කොට්ඨාසයෙනි. ඔහුව පසුගිය මාස කිහිපය පුරාම ඉන්දීය මාධ්‍යවලටත් වඩා දැකගත හැකි වුණේ විදෙස් මාධ්‍යවල ය. මේ අනුව රාහුල් ගාන්ධි සොයාදෙන කෙනෙකුට තෑගි දෙන්නට හදන්නේ ඔහුට ඡන්දය දුන් මිනිසුන් ය. ඔහු මූලිකවම වගකිව යුත්තේ තමන්ගේ ඡන්ද දායකයන්ට නිසා ඔහු මෙසේ ආගිය අතක් නැති වීම ගැන ඔවුන් කලබල වීම පුදුමයට හෝ කෝපයට කාරණයක්ද?
ඉහතින් කී හින්දි පෝසටරයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ. “ඔහුගේ හැසිරීම නිසා පොදු ජනයාට තමන් රැවටුණු බවත් තමන් නින්දාවට පත්වූ බවත් දැනේ..” අමෙති නගරය සැලකුවහොත් රාහුල් ව පාර්ලිමේන්තුවට යැවූ මහමැතිවරණයෙන් පසු ඔහු මේ ඡන්ද දායකයන්ට වැඩි දෙයක් කර නැත. පටන් ගත් ව්‍යාපෘති බොහොමයක්ම මුදල් නැති කමෙන් අතරමග ණතර වී තිබේ. ලංකාවේ වගේම ය!!
ජාගර දේශපාලන සංස්කෘතිය අතින් ලංකාව සහ ඉන්දියාව එක සමාන වන බවට උදාහරණ බොහොමයකි. නමුත් ලංකාවේ සහ ඉන්දියාවේ තිබෙන ලොකුම වෙනස නම් එකී දේශපාලන අසාධාරණයන්ට විරුද්ධව පොදු ජනයා ප්‍රතිචාර දක්වන ආකාරයේ වෙනසයි. ඒ අතින් ඉන්දියානුවා නිර්මාණශීලී ය. නැතිනම් ලංකාවේ මෙන් තම අයිතීන් සුළු ලාභ තකා පාවාදීමට ඉක්මන් වන්නේ නැත. ඉන්දියාවේ පොදු ජන ව්‍යාපාර, බොහෝ විට ජයග්‍රහණ සලකුණු කරන්නේ එනිසා ය.
ඉන්දියාවේ තොරතුරු පනත 2005 වසරේ සම්මත කර ගත් ආකරය එයට හොඳම උදාහරණයයි. මේ සඳහා මුල පිරුවෝ ඉන්දියාවේ දුප්පත් ගම් දනව්වල ජීවත් වූ කාන්තාවෝ ය. තමන්ගේ 'එම්එල්වරුන්' එසේත් නැතිනම් ජනතා නියෝජිතයන් හෝ, අපේ රටේ බාසාවෙන් කියනවා නම් ‘මන්ත්‍රීතුමා’ ඡන්ද කාලයට පමණක් ගමට එන්නේ මන්දැයි අසන්නට තරම් කොන්දක් ඒ ගැහැනුන් ට තිබුණේය. “ඇයි ඡන්දෙ කාලෙට විතරක් ගමට එන්නෙ..? ඇයි අනෙක් කාලවලට අපි ජීවත් වෙන්නෙ නැත්ද...?” යැයි අසන්නට තරම් ඔවුන්ට කටට පණ තිබුණේය. “.. ඊළඟ වතාවෙ ඔබේ ඡන්දය ඉතාම වැදගත් කියාගෙන අපේ ගමට ආවොත් ගහනව සෙරෙප්පුවෙන්..” යැයි කියන්නට තරම් නිර්භය වූ ගැහැනු සිවිල් ව්‍යාපාරවල සිටි බවට සාධක සාක්ෂි බොහොමයකි.
අවසානයේ සිදුවුණේ ජනතාවගේ බදු මුදල්වලින් ජනතාවට වග කියන ජනතා නියෝජිතයන් පිරිසක් බිහිකර ගැනීම සඳහා පදනම, ඉන්දියාවේ තොරතුරු පනතෙන් ලැබීමයි. අද පවා ඉන්දියාවේ පොදු ජනතාව, තම දේශපාලකයන් තමන් වෙනුවෙන් කළ කී දෑ සහ කී-නොකළ දෑ ගැන විමසිලිමත් ය. එයින් අදහස් වන්නේ ඔවුන් ටයර් පෙරළනවාක් මෙන් ආණ්ඩු පෙරළන බව නොවේ. ජනතාවට බැරෑරුම් ලෙස වගකියන්නට තමන්ගේ ජනතා නියෝජිතයන්ව පොළඹවන බවයි. ලංකාවේ පොදු ජනයා සහ ඡන්දෙ කාලෙට පමණක් ගමට යන අපේ දේශපාලකයන් ද තේරුම් ගත යුතුව තිබෙන අලුත්ම කතාව එයයි. එසේත් නැතිනම් නුදුරු කාලයකදී ලංකාවේ ගම් දනව්වලත් මෙවැනි පෝස්ටර් ඇළවෙන්නට බැරි කමක් නැත.
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS