පාදුක්ක මීරියගල්ල ආදර්ශ ගොවිපල ප්‍රදේශයෙන් පසුගිය (14) වැනි දින එවැනි පුවතක් වාර්තා විය. එම ගොවිපොලෙහි තිබූ නිවසක් අසල්වැසි කාන්තාවන්...
පාදුක්ක මීරියගල්ල ආදර්ශ ගොවිපල ප්‍රදේශයෙන් පසුගිය (14) වැනි දින එවැනි පුවතක් වාර්තා විය. එම ගොවිපොලෙහි තිබූ නිවසක් අසල්වැසි කාන්තාවන් දෙදෙනෙකු (මව සහ දියණිය ) ගිනි තබා විනාශ කර තිබුණි. තොරතුරු වාර්තා වන පරිදි ඊට හේතුව කාලයක පටන් පැවති ආරවුලකි. නිවැසියන් පැමිණ බලන විට සම්පුර්ණයෙන්ම නිවස ගින්නෙන් විනාශ වී තිබුණි. ලබන 20 වැනිදා පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින නිමාෂා කාව්‍යා දැරියගේ සියලුම පොත් පත් ඇඳුම් පැළදුම් එම ගින්නෙන් විනාශ වී හමාරය. නිමාෂා කාව්‍යා දැරියගේ පියා වන සනත් රත්නායක මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ අඩුම තරමේ හෙට අනිද්දා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත් තම දියණියගේ පොතක් පැන්සලක්වත් ඉතිරි වී නොමැති බවයි. සැකකාර කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වන විට ඔවුන් ඇප මත නිදහස්ව සිටියි.
සෙවිලි තහඩු කර තිබූ එම කුඩා නිවසට ආලෝකයක් වී තිබුණේ නිමාෂා දැරියගේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ලොකු ඉස්කෝලයකට යාමේ සිහිනයයි. එහෙත් අද දවස වන විට මුළු පවුලම ගව් ගණනකින් ඇදවැටී හිදියි. කැමරාව ඉදිරියේ නිමාෂා නොහැඩුවද සිය පොත් කබඩ් එක දෙස බලමින් හදවතින් නේක වාරයක් හඬා වැලපී අවසන්ය. "මට පාඩම් කරන්න එක පොතක්වත් නැහැ. ශිෂ්‍යත්ව විභාගයට ඇඳගෙන යන්න ඇඳුමක්වත් නැහැ." කියද්දී හඬා නොවැලපෙන සිතක් ඇත්නම් ඒ චූදිතයන් වැන්නවුන් පමණි.
කෙසේ හෝ අද වැඩිහිටියන්ගේ ආරවුලක ගොදුර වී ඇත්තේ පුංචි දරුවෙකි. ලොකු ඉස්කෝලයක අකුරු කරනා යුරු සිහින දුටු පුංචි දැරිවියකි. මෙතෙක් පියවරෙන් පියවර ගොඩනගා ගත් ධෛර්යය අද ඇගෙන් උදුරා ගෙනය. මේ සා විශාල වරදක් කිරීමට තරම් මිනිසුන්ට සැහැසි විය හැකිද? දරු පවුලක් මහමඟට ඇද දමන්නට තරම් නොමිනිසුන් විය හැකිද? අද දවස වන විට මෙවැනි ඛේදවාචක අඩුවක් නොමැතිව අසන්නට, දකින්නට ලැබෙයි. සෑම තැන්හිම අසරණ වන්නේ දරුවෙකි. ජීවිතය ගලපාගන්නට වෑයම් කරන දරුවෙකි. එක්කෝ මෙවන් ඛේදවාචකයකි. නැත්නම් අපචාරයකි. දුෂණයකි,හැර දමා යාමකි.
පසුගිය දිනෙක ගලේවෙල ප්‍රදේශයෙන්ද ඛේදජනක පුවතක් අසන්නට ලැබුණි. ඇය උසස් පෙළ හදාරන දැරියකි. මව, පියා දෙදෙනාගෙන් කිසිවෙකු හෝ ඇගේ රැකවරණයට නැත. කටු මැටි නිවසෙහි තනිව හිඳිමින් ඇය සිය අධ්‍යාපන කටයුතු කරන්නීය. පාසල් නොමැති දිනයන්හිදී ඇය කුලී වැඩ කරමින් අතට කීයක් හෝ සොයා ගනී. පියා මියගොසින්ය. මව වෙනත් විවාහයක් කර ගෙනය. මේ සියලු පීඩාවන් මැද ඇය ගුරුවරියක වීමේ සිහිනය දකින්නේ තමන් වැනි අසරණ දරුවන් හට පිහිට වීමටය. මේ, පින් බිමක කඳුළු කතන්දරය. වැඩිහිටියන්ගේ සියළු අභාග්‍යයන්ගේ ගොදුරු දරුවන්ය.
මේ කුමන අකටයුත්ත සිදු වුවද සදාචාරය, ආගම , සංස්කෘතිය ගැන පම්පෝරිය. ඊට එහා දෙයක් නැත. හතර පෝයට සිල් ගන්න , උදේ හවස පිරිත් අහන, අර පූජාව මේ පූජාව, පුදුමාකාර ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් ගහණ වූ භූමියකි. එහෙත් ඕනෑතරම් අකටයුතුකම්ය. ඒ සියල්ලෙහි අවසන් ගොදුර කොතැන හෝ හිඳිනා දරුවෙකි. එහෙත් ඒ ගැන වගේ වගක් නැති සමාජයකි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS