පසුගිය කාල සීමාව තුළ රට තුල ප්‍රබල සංවාදයක් නිර්මාණයක් කරන්නට සමත් වූ ප්‍රමුඛ මාතෘකා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය ...

පසුගිය කාල සීමාව තුළ රට තුල ප්‍රබල සංවාදයක් නිර්මාණයක් කරන්නට සමත් වූ ප්‍රමුඛ මාතෘකා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ කාරණය සුවිශේෂි වැදගත්කමක් උසුලයි. මෙකී ආන්දෝලනාත්මක කරුණ පිළිබඳව වගකීමක් සහිත සිවිල් සංවිධානයක් මෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස සෑබෑ තොරතුරු අනාවරණය කරගැනීම අපගේ වගකීමක් බව විශ්වාස කරනු ලැබූ හෙයින් ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න විමසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කරන ලදී. (RTI 009)
එයට ප්‍රතිචාර දක්වමින් ආගමන විගමන පාලකවරයා විසින්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක්කොට ඇත. ඒ අනුව එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයගේ තොරතුරු අන්තර්ගත කොට ඇති පරිඝනක පද්ධතියට ඇතුලත් කොට පරීක්ෂා කර ඇති අතර එයින්ද නොනැවතී පරිඝනක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කල පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛනද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.
එම පරීක්ෂාවෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයා විසින් සනාථ කොට ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 A දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කොට ඇති බවයි. එමෙන්ම මෙකී පරීක්ෂාවේදී අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නොමැති බවට සනාථ වන බව ආගමන විගමන පාලකවරයා විසින් අප වෙත දන්වා එවා ඇත.
ඒ අනුව වගකීව යුතු නිරීක්ෂණ සංවිධානයක් ලෙස විධිමත් තහවුරු කර ගැනීමකින් පසුව මෙම ආන්දෝලනාත්මක කාරණයට අදාල සැබෑ තොරතුරු සමාජය හමුවේ තැබීම අපගේ වගකීමක් බව විශ්වාස කරන හෙයින් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ හා පුරවැසියන්ගේ දැනගැනීම පිණිස එම තොරතුරු මාධ්‍ය වෙත යොමු කිරීමට අප තීරණය කලෙමු.
මෙම තොරතුරු ලබාදීම සඳහා අප සමග මනා සම්බන්ධීකරනයක් පවත්වා ගෙන යමින් කාර්යක්ෂම හා අමිල මෙහෙවරක් ඉටු කල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාට හා ආගමන විගමන පාලකවරයාට අපගේ කෘතවේදීත්වය පලකර සිටිමු.
මෙයට,
විශ්වාසී,
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක
COMMENTS