නඩත්තු කටයුතු සඳහා මෙම යන්ත්‍රය දින 2 ක ට පෙර රැගෙන විත් ඇති අතර එයින් ඇති වූ බලපෑම හේතුවෙන් තම ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැය...
නඩත්තු කටයුතු සඳහා මෙම යන්ත්‍රය දින 2 ක ට පෙර රැගෙන විත් ඇති අතර එයින් ඇති වූ බලපෑම හේතුවෙන් තම ධීවර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි වරායේ ධීවරයෝ පවසති.
අදාළ යන්ත්‍රය ධීවර වරායේ නතර කර තැබීම නිසා රළ පහර රළු වීම හේතුවෙන් ධීවර බෝට්ටු වෙත ගමන් කිරීමට නොහැකි වීමත් ධීවර වරායේ වෙරළ දැඩි සේ ඛාදනය වීමත් සිදු වන බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ.
මේ යන්ත්‍රය තම ධීවර වරායට රැගෙන ඒමට පෙර කිසිදු අයුරකින් ධීවරයින් දැනුවත් නොකළ බවත් මේ නිසා ධීවරයින්ගේ රැකියාවට එල්ල වී තිබෙන තර්ජනය කෙරෙහි බලධාරීන් වග කිව යුතු බවත් තව දුරටත් ධීවරයින් පවසා සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැලිපටන්විල ධීවර වරායේ ධීවරයෙකු වන ජේ. එච්. සරත් ද සිල්වා මහතා,
“මේ වරායට ඇවිල්ලා තියෙන බත්තල නිසා අපිට ධීවර කර්මාන්තය කරන්න බැරි තත්වයට පත්වෙලා. දැනට ඒ බත්තල නිසා වරාය මීටර 25ක් විතර ගොඩවෙලා තියෙනවා. බත්තලට වදින රළ පහර දිය කඩනයට වැදිලා දිය කඩනයටත් හානි වෙනවා. තවදුරටත් දියකඩනය කඩල ගියොත් අපිට රැකියාව කරගන්න බැරි වෙනවා. දැන් අපි දින කීපයක්ම මේ නිසා රැකියාවට ගියේ නෑ.”
වැලිපටන්විල ධීවර වරායේ ධීවරයෙකු වන නෙල්සන් මහතා,
“මේ කර්මාන්තය කරන්න බැරිව බෝට්ටු කීපයක් ගොඩ. මේක මේ කොහෙන් ආපු එකක් ද දන්නෙ නෑ ගෙනැල්ලා දාල තියෙනවා යකඩ ගොඩක්. ඒකෙන් අපේ ධීවර වරාය ගොඩවෙලා දැනට. අපිට ධීවර කර්මාන්තයේ නියැලීමට හරිම අපහසුතාවයක් තියෙන්නෙ. අපි බලධාරින්ට කියන්නෙ මේක ඉක්මණින් ඉවත් කරලා දෙන්නයි කියලා.”
මේ බත්තල නිසා ධීවරයන්ට ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර,
“අපි මේක ගෙනාවෙ ධීවරයින් දැනුවත් කරලා. මේකෙන් කීප දෙනෙකුට රැකියා අවස්ථා ලැබෙනවා. නැත්නම් මේක මුලින්ම යෝජනා වුණේ ඉක්කොවිටට ගේන්න. මමමයි යෝජනා කළේ වැලිපටන්විලට ගේන්න. මොකද මිනිසුන්ට රැකියා අවස්ථා ලැබෙන නිසා. ඒකට කැබිනට් අනුමැතියකුත් තියෙනවා. නමුත් ජනතාව විරෝධය පල කරනවා නම් එය ඉවත් කරගැනීමට කටයුතු කරන” බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS