දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මරා දැමූ මිථ්‍යාදෘෂ්ටිකයා

මිථ්‍යාදෘෂ්ටිකයා යන නාමයෙන්ම අරුත් ගැන්වෙනුයේ පැවතියා වූ සම්‍යක් දෘෂ්ටියක් අභිබවා යමින් එසේත් නැතිනම් එ කී සම්‍යක් දෘෂ්ටිය ඛණ්ඩනය කරලමින්...

මරා දැමූ මිථ්‍යාදෘෂ්ටිකයා

මිථ්‍යාදෘෂ්ටිකයා යන නාමයෙන්ම අරුත් ගැන්වෙනුයේ පැවතියා වූ සම්‍යක් දෘෂ්ටියක් අභිබවා යමින් එසේත් නැතිනම් එ කී සම්‍යක් දෘෂ්ටිය ඛණ්ඩනය කරලමින් වෙනත් ආකාරයේ දෘෂ්ටියක් වැළඳ ගත් පුද්ගලයෙකු පිළිබඳවයි. එ කී මිථ්‍යාදෘශ්ටිකයාගේ නාමය නම් කනිත්ථ අක්ඛිලනාගය, කනිත්ථ නම් වූ නාග වංශික රජතුමාය. කනිත්ථයන් මිථ්‍යාදෘෂ්ටිකයෙකු බවට පත් වෙනුයේ එ කල පැතිර තිබූ සූර්ය වංශික වන්දනාව ප්‍රතික්ෂේප කොට නව ආගමක් එසේත් නැතිනම් නව දෙවියෙක් ජනිත කළ නිසාවෙනි. කනිත්ථයන්ගේ මෙ කී නව දෙවියන්වහන්සේ යනු ක්‍රිස්තියානී දහමේ සඳහන් වන කේවල දේවාත්මයට සමපාත වන දෙවියෙකු ද? නැතිනම් වෙනත් දෙවියෙක් ද? යන්න ඔහු එම දෙවියන් පිළීබඳව කරනු ලබන විස්තර සහ ඔහුගේ අනුගාමිකයන්ගෙන් සමහරෙක් කියනු ලැබූ විස්තර වලින් තහවුරු වේ.

මෙම නිර්මාණය හරහා පැන නැගෙන සංවාදාත්මක ප්‍රධාන කාරණය වන්නේ දෘෂ්ටිවාදය යනු කුමක්ද යන්නයි. මාක්ස්වාදී සංදර්භයක සිට අදහස් දක්වන ටෙරී ඊගල්ටන් වැනි බුද්ධිමතුන් විසින් මාක්ස්වාදයේ දෘෂ්ටිවාදය හදුන්වන්නේ එක්තරා සමාජ ඥානන ප්‍රපංචයක් ලෙසටය. නමුත් ආධානග්‍රාහී බොහෝ මාක්ස්වාදීන් විසින් දෘෂ්ටිවාදය හදුන්වනුයේ ඉතාම ග්‍රාම්‍ය දෙයක් ලෙසටය.

බුදු දහම දෘෂ්ටිවාදය පිළිබඳව කතා කිරීමේදී ද සම්‍යක් සහ මිථ්‍යා යන ද්වි වර්ගීකරණයෙන් යුක්තව දෘෂ්ටිය පිළිබඳව කතා කරනු ලබන අතර බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍රයකදී එය ආත්මය මූලික කොටගෙන පැන නගින දෙයක්ය යන ස්ථානයේ සිට දෘෂ්ටිවාද හැට දෙකක් පිළිබඳව විවරණය කෙරේ.

එහිදී, එනම් බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් අයුරින් එ කල දඹදිව දෙසැටක් මිථ්‍යාදෘෂ්ටීන් තිබුණ බව පැවසෙන අතර එම දෙසැටම ප්‍රධාන වර්ගීකරණය යටතේ කොටස් දහයකට දැමිය හැකිය. එ කී කොටස් දහයෙන් ප්‍රධානම කොටසක් වන උච්ඡේදවාදී දෘෂ්ටිවාදයට එනම් ආත්මයක් තිබේ ආත්මය මරණින් පසුව විනාශ වේය යන උච්ඡේදවාදී දෘශ්ටියට වැටෙන ආකාරයේ නව දහමක් කනිත්ථ විසින් ඕමූන් නම් දෙවියන් මුල්කොට ගෙන දේශනා කිරීමට පෙළඹේ.
බොහෝ අවස්ථාවල මරණයක් ගැන සඳහන් වන විට ඔහු සැම දෙනාගෙන්ම අසන්නේ එසේ මැරුණ පුද්ගලයන් නැවත ආපසු ගෙන්වා ගත නොහැක්කේ මන්ද යන්නයි. ආත්මය වෙනත් සිරුරක් මත ලැගුම් ගනී යන ‘ග්‍රාම්‍ය සිතුවිල්ලෙන්‘(කනිත්ථට අනුව) අතෘප්තිමත් වන කනිත්ථයන් සිදු කරනුයේ තව තවත් තම නව දහම දෙසට ඇදී යාමයි. විශේෂයෙන්ම ඔහුගේ සොහොයුරාගේ මරණය ඔහු තුළ විශාල කම්පනයක් ඇති කළ බව පෙනේ. එය, එනම් ඒ ක්ෂතිමය පරාසය වන ප්‍රියවිප්‍රයෝගය ඔහුගේ නව දේව දහමේ මූලික අඩිතාලම වේ

ඕමූන් යනු බොහෝ විට මහායාන සම්ප්‍රදායේ සඳහන් වන කරුණා පාරමිතාවේ පරිපූර්ණත්වයට පත් වෙමින් දෙවියෙකු බවට පත් වූවෙකැයි කියා කෘතිය අභ්‍යන්තරයෙන් සොයා ගත හැකිය. එමෙන්ම මෙම ඉතිහාස පුවත පාඨකයා අබිමුව දිග හරිනු ලබන කිත්සිරු ඉන්දියාවේ සිට නැවත මෙරටට එන අතරතුර සුරින්දපුර පසුකර නැවෙන් ගමන් ගන්නා විට එක්තරා බෝධිසත්වවරයෙකුගේ පිළිරුවක් දැකීම ද එ කී සංකල්පයට සමානුපාත කළ හැකිය. මක් නිසාද සුරින්දපුර යනු කනිත්ථයන් විසින් තම නව දෙවියන් වැළද ගැනීමෙන් පසුව නිර්මාණය කරගන්නා ලද නව නගරය වූ නිසාවෙනි.
කනිත්ථගේ නව දෙවියන් කවුද?

මෙම කෘතිය කියවාගෙන යෑමේදී මා තුළ බෙහෙවින්ම කුතුහලයක් ඇති කළේ කනිත්ථ කියනු ලබන නව දෙවියා යනු කවුද? යන්නයි. මා විසින් සිදු කරන ලද තුලනාත්මක අධ්‍යයනයන් තුළදී(කනිත්ථ තම දෙවියන් පිළිබඳව සිදු කළ ප්‍රකාශ හරහා) මට ඒත්තු ගැන් වී ගියේ කනිත්ථ දේශනා කරනු ලැබූ දෙවියන් බයිබලයේ එන මැවුම්කාරයාම බවයි. එනම් කනිත්ථ යනු වාස්තවික විඥානවාදියෙකු බවයි. වාස්තවික විඥානවාදයේදී කියවෙනු ලබන්නේ ද්‍රව්‍යයෙන් සහ මිනිස් සන්තානයෙන් ස්වාධීනව සිටින විෂය මූලික විඥානයක් විසින් ලෝකය නිර්මාණය කර ඇත යන්නයි. එහිදී අප කෘතියේ මෙම කොටස ගැන සැලකිලිමත් විය යුතුයි.
‘ ....එතුළත් ඒ මතත් නොයෙකුත් තෘණ වර්ගයන් ද නොයෙකුත් පල වැල ද හට ගනු ඇති එතුළ නොයෙකුත් කෘමීන් ද සත්වයන් ද පසුව මනු සතුන් ද ඇති වනු ඇති. ඒ සියල්ල පරම දෙවියාගේ බලයෙන් මිස ඒ දේව බලයත් සමඟ ඒකාත්ම වීමෙන් මිස හට නොගනී. එබැවින් මැවීම ද පැවැත්ම ද විනාශය ද එකම බලවේගයක ප්‍රතිඵලයක් මිස විවිධ දෙවිවරුන්ගේ බලපෑමක් නොවේ. බ්‍රාහ්මණතුමනී එබැවින් අප කළ යුත්තේ එම මැවුම්කරුවාගේ සියලු නිර්මාණයන්ට ආදරය කිරීම පමණයි....‘ (පිටුව-55)

මෙහිදී කනිත්ථ විසින් කරනු ලබන මෙම ප්‍රකාශය නැවත නැවත කියවන විට මගේ මතකයට එන්නේ බයිබලයේ උත්පත්ති පොතේ එන පළවෙනි පරිච්ඡේදයයි. එහිදී ද සඳහන් වන්නේ දෙවියන්වහන්සේ විසින් මුලින් ලෝකය මවා පසුව පක්ෂීන්,ගවයන් ආදී වූ සතුන් මවා ඉන් අනතුරුව මිනිසා මැවූ බවයි. මෙහිදීත් කනිත්ථයන් පවසනුයේ තම දෙවියන් ලෝකය හා අනෙක් සතුන් මැවීමෙන් අනතුරුව මිනිසා නිර්මාණය කළ බවයි. එමෙන්ම ත්‍රිපිටකයේ දීඝ නිකායෙහි එන අග්ගඤ්ඤ සූත්‍රය ද මෙහිදී අමතක කළ නොහැකිය. එහිදීත් බුදුන් ලෝකයේ ආරම්භය ගැන දේශනා කරනු ලබන අතර (අවධාරණයෙන් මතක තබාගන්න, බුදුන් දේශනා කළේ ආරම්භය මිස මූලාරම්භය නොවන බව) එහි එක් තැනක සඳහන් වන්නේ ආභස්සරයින්ට කරජකාය පහළ වීමෙන් පසුව ඔවුන් එකිනෙකා සමඟ රාගයෙන් බැඳී ප්‍රසිද්ධියේම රමණයට පැටලෙන බවයි. එහිදී මෙය දකින අනිත් මිනිසුන් එම රමණයේ යෙදෙන්නන්ට සත්ව වසුරු වලින් ද ගල් මුගුරු වලින් ද පහර දෙනු ලබයි. එහිදී බුදුන් ද සෘජුව නොපවසා, පවසනුයේ මිනිසාගේ පහළ වීමට පෙරාතුව සතුන් මිහිපිට මත නිර්මාණය වී තිබුණ බවයි. මක් නිසාද මිනිසුන් දෙදෙනෙක් රමණයේ යෙදෙන විට (ප්‍රසිද්ධියේ) අනෙක් මිනිසුන් ඔවුන් දෙදෙනාට සත්ව වසුරු වලින් පහර දී එළවන බැවිනි(ව්‍යභිචාරයේ උන්නතිය සඳහා ද?). ඒ අනුව බලන කල කනිත්ථයන් විසින් දේශනා කරන ලද දෙවියන් බුදු දහමට ද සමීප යැයි සිතුව ද කනිත්ථයන් මෙන් බුදුන් ඒකදේව වාදයකටවත් කිසිදු විඤ්ඤාණවාදී ආකාරයකටවත් ලෝකය ලඝු කළේ නැත. බුද්ධ ලෝකය විවරණය කරනු ලැබුවේ හේතු-ඵල වාදී දැක්මකිනි.

නමුත් මෙහිදී කනිත්ථයන් පවසනු ලබන මැවීම, පැවැත්ම, විනාශය යනු එකම බලවේගයක ප්‍රතිඵලයක් යන්න ද බුදු දහමේ එන උත්පාද, ඨිති, භංග යන අවස්ථා සමඟ සැසඳිය හැක. නමුත් මැවීමෙන් උත්පාදය වියුක්ත වනුයේ උත්පාදයට හේතුවක් අවශ්‍ය වීමත් මැවීමට හේතුවක් අනවශ්‍ය වීමත් තුළිනි. ඒ අනුව මගේ හැගීම වනුයේ කනිත්ථයන් විසින් සිදු කළේ බහු දේව වාදය ඛණ්ඩනය කොට ඒක දේව වාදයක් වෙත තම සමාජය රැගෙන යෑමක් බවයි.
සත්‍යය කුමක් ද?

සත්‍යය යනුවෙන් යමක් තිබෙනවා නම් එය කවරාකාරයේ යමක් විය හැකිද? එමෙන්ම එය සියලු මිනිසුන් විසින් පිළිනොගන්නේ නම් එය තවදුරටත් සත්‍යයක් විය හැකි ද? මිථ්‍යාදෘශ්ටිකයා ග්‍රන්ථයේ උත්ප්‍රාසාත්මක තේමාව එයයි. විශේෂයෙන්ම අද වන විට බොහෝ දෙනෙකු පවසන්නේ පරම සත්‍යය කියා යනුවෙන් දෙයක් ලොවෙහි නොමැති බවයි. රෂොමාන් කෙටි කතාවේ මෙන්ම මෙහිදී ද, එනම් මිථ්‍යාදෘෂ්ටිකයාහිදී ද අපට ඒත්තු ගැන්වෙනුයේ එයයි. එනම් පරම සත්‍යය කියා යමක් ලොවෙහි නොමැති බවයි. විශේෂයෙන්ම ඉතිහාසය වැනි කාරණයක දී පරම සත්‍යය යනුවෙන් යමක් කිසිසේත්ම ගොනු කළ නොහැකි බවට මිථ්‍යාදෘශ්ටිකයා කතා පුවත මෑත කාලීන හොඳම සාක්ෂිය වේ.

කනිත්ථයන් විසින් නව දෙවියෙකු ඇතිකරනු ලැබීමෙන් සිදුවන සමාජ දේශපාලනමය විප්ලවය විවිධ පුද්ගලයන් විසින් දකිනු ලබන්නේ විවිධ දෘෂ්ටීන්ගෙනි. එ කී දෘෂ්ටීන් සියල්ලම එකිනෙකට සමපාත කළ නොහැකිය. විශේෂයෙන්ම සත්‍යය මෙන්ම ඉතිහාසය ද පුද්ගල සාපේක්ෂතාව මත නාභීගත වන්නක්ය යන්න මිථ්‍යාදෘෂ්ටිකයා අපට ඒත්තු ගන්වයි. වරෙක ස්ත්‍රියක සේ ද වරෙක පිරිමියෙකු සේ ද පෙනී සිටින්නා වූ මිථ්‍යාදෘෂ්ටිකයා පිරිමින් හා ලිංගිකව එක්වන්නෙකු බව ද සමහරු පවසති සමහරෙක් ඔහුව ඉතා ඉහළින් වර්ණනා කරනු ලබන අතර තවකෙක් ඔහුව හෙළා දකියි. මෙය නූතන පසුබිමකට මඳකට රැගෙන ආවොත් අපට එය මෙසේ ද සාකච්ඡා කළ හැකිය. එනම් වර්තමාන මහාවංශය ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කරනු ලැබුවොත් මහින්ද එහිදී දස දහසක් සක්වළ කැළඹූ පොරක් ලෙසට නිර්මාණය වනු ඇති. තිස්ස අත්තනායක වැනි අයෙක් රචනා කරනු ලැබුවහොත් එය රනිල් වික්‍රමසිංහගේ නොසැලෙන නායකත්ව අධීෂ්ඨානය ගැන ගුණ වැනිල්ලක් වනු ඇති. ජවිපෙ විසින් රචනා කරනු ලැබුවොත් පෙරටුගාමීන් කියා පිරිසක් නොසිටිනු ඇති. බාහු එය රචනා කරොත් මහින්ද මැර චණ්ඩියෙක් ලෙසට රචනා වනු ඇති. දේවල් නිර්මාණය වන්නේ එලෙසය, පුද්ගල සාපේක්ෂතාව මතය. මිථ්‍යාදෘශ්ටිකයා යනු එකී පුද්ගල සාපේකෂතාව පිළිබඳව නිර්මාණය වූ අගනා නිර්මාණයකි.

පසු සටහන
මිථ්‍යාදෘශ්ටිකයා ග්‍රන්ථයෙහි එන මා කියන ලද තේමාව මතභේදයට ලක් කරන එක්තරා සිඳුවීමක් තිබේ. එනම් කනිත්ථ නම් වූ නාග කුමාරයා තමන් රජ වීමට පෙරාතුව රටෙහි සංචාරයක නිරතව සිටියදී ඔහුට බුදුන් මුණගැසුන පුද්ගලයන් දෙදෙනෙකු මුණ ගැසීමයි. මොවුන් මෙම කෘතිය තුළදී වණිකයන් යනුවෙන් හඳුන්වා තිබේ. වණිකයන් යනු වෙළෙන්දන්ය, වෙළදාමෙහි නිරතවන්නන්ය. මොවුන් දෙදෙනා ජනප්‍රවාදයෙහි සඳහන් වන තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් බවට සැකයක් නැත. තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් යනු සිද්ධාර්ථ තාපසයා බුද්ධත්වයට පත් වීමෙන් පසුව පළමු දානය ලබා දුන් දෙදෙනාය. තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් මෙරටට පැමිණ ඔවුන් අතේ තිබුණ කේශ ධාතු තැන්පත්කොට ගිරිහඩුසෑය සෑදු බව අපේ සාසන ඉතිහාසය තුළ සඳහන් වුවද (විකිපීඩියාව සඳහන් කොට තිබෙන්නෙත් තපස්සු භල්ලුක දෙදෙනා ලංකාවට පැමිණි බවයි.) බුරුම සාසන ඉතිහාසය තුළ සඳහන් වන්නේ තපස්සු භල්ලුක දෙදෙනා මොන් ගෝත්‍රයට අයත් බුරුම වැසියන් බවයි. බුරුම ජනප්‍රවාද වලට අනුව තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් ළඟ තිබූ කේශ ධාතු තැන්පත් කොට සිංගුත්තර නම් කඳු මුදුනේ ස්වේදගොන් චෛත්‍යය සෑදු බව සඳහන් වේ. මේ අනුව වර්තමානය දක්වාම සංශයට හා මතවාදයන්ට ලක් වූ තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් පිළිබඳ පුවත මෙම ග්‍රන්ථය තුළ ඓතිහාසික සත්‍යයක් ලෙසින් සඳහන් වී තිබීම කෘතියේ උත්ප්‍රාසාත්මක තේමාවට සිඳු වූ අසාධාරණයක් දෝ කියාත් මට සිතේ.එය කෙසේ වුවද මිථ්‍යාදෘෂ්ටිකයා නම් වූ අනගි නිර්මාණය තළු මර මරා රස විදීමට එය අපට බාධාවක් නොවන්නේය. එමෙන්ම අලංකාර සාහිත්‍යයේ එන සමහරක් ලක්ෂණ කැටිකොට ගත් ආඛ්‍යාන රටාව ද, බුද්ධිය ද, උත්ප්‍රාසය ද එකවර කැටිකොට ගත් ශ්ලෝකයන් ගේ අනුවාද ද කෘතිය බිම තැබීමට නොසිතෙනා උත්ප්‍රේරකයන් බඳුය.

බාසුරු ජයවර්ධන
basurujayawardana@gmail.com
ආශ්‍රිත ලේඛන-
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය-දීඝ නිකාය(බුද්ධ ජයන්ති මුද්‍රණය)
ශුද්ධ වූ බයිබලය
විවරණ-කොස්වත්තේ අරියවිමල හිමි.
විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝශය
මාක්ස්වාදය හා සාහිත්‍ය විචාරය-ටෙරී ඊගල්ටන්(පරිවර්තනය-මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරා දැමූ මිථ්‍යාදෘෂ්ටිකයා
මරා දැමූ මිථ්‍යාදෘෂ්ටිකයා
http://ift.tt/2uUUdDb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_917.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_917.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy