අප්පච්චිලා කෝමත් දුවලාට ආදරේ ය. දෙන්නට පුළුවන් තරමක් දෙයක් දුවලාට දෙනවා ය. අනෙක් අතට ලක්ෂ්මන් කිරිඇල්ල අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂයට ව...
අප්පච්චිලා කෝමත් දුවලාට ආදරේ ය. දෙන්නට පුළුවන් තරමක් දෙයක් දුවලාට දෙනවා ය. අනෙක් අතට ලක්ෂ්මන් කිරිඇල්ල අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂයට වී කට්ට කාගෙන හිටියේ නිකම්ම නිකම් අත පිහදා ගන්නද ? වතාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව ඉඳිද්දී කිරිඇල්ලව කාර් එකේ නංවාගෙන නුවරට එන තුරා තෙල බෙදා "මේ පැත්තට එන්න ලකී" කියද්දීත් දත්මිටි කාගෙන අහවල් පැත්ත හපාගෙන පිම්ම වළකාගෙන එජාපයේ ම එල්ලී හිටියේ අහවල් එකේ අමාරුවටද ? ( මහින්ද කීවාම මතක් වුණේ, මහා මාර්ග අමාත්‍යාංශය කියන්නේ ඇමතිකම් අතර හොඳම මස් කෑල්ලය. මහින්ද රාජපක්ෂත් ඒක තියාගෙන හිටියේ තමුන්නේම යටතේ ය.) ඉතිං එහෙව් දුකක් විඳගෙන කුජීත විපක්ෂයට ම වී එජාපයේම දුක් විඳපු කාලයේ ඒ දුක බෙදාගන්නට දැන් ඔය ටෙන්ඩර් ඉල්ලාන අමාත්‍යාංශයට එන කොන්ත්‍රාත්කාරයෝ කවුරුත් හිටියා ද ? නැත.
එදා විපක්ෂයට වී දුක් උහුලද්දී ඒ දුක බෙදා ගන්නට හිටියේ දුව ම විතරය. "සුරතල් දියණිය මොළකැටි වදනින් මා සනසන්නිය" කියා සිංහබාහු එකේදී සරච්චන්ද්‍ර කීවේත් ඒ ගැනය. ඉතිං එහෙව් දුවට කොන්ත්‍රාත් එකක් දෙන්නට බැරි නම් අප්පච්චිගේ ඇමතිකම මහාමාර්ග නොවෙයි නිවන් මාර්ග වුණත් ඇති වැඩක් තියේද ? "පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී" කියා ටී.එම්. ජයරත්නට මාලිනී ලියා දුන්නේ ඒ කාලයේ ය. දැන් කාලයේ එහෙම නැත. පිය සෙනෙහස කොන්ත්‍රාත් එකෙන් පවා ගලන්නේය.
ඒ විතරක් ම නෙවේය. ඛනිජ තෙල් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග ය. අර ලෝක කුසලාන දිනන කාලේ ක්‍රිකට් ගහපු අර්ජුන ම තමා ය. ඒ ඇමතිකමට කලින් එතුමාට තිබුණේ වරාය ඇමතිකමය. එතුමා වරාය ඇමති කාලේ වරාය සභාපති ධම්මික රණතුංගය. ධම්මික රණතුංග කියන්නේ අර්ජුනගේ එක්කුස උපන් සොහොයුරාය. අයියා ය. වරාය ඇමතිකම මාරු වී අර්ජුනට ඛනිජ තෙල් ලැබුණේය. වෙන්න ඕනෑ පිළිවෙලට ම දැන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික ය.
අයියාට සභාපතිකම දෙන්නට බැරිනම් ඛනිජ තෙල් තියා 'නැටුම් තෙල්' ඇමතිකම ලැබුණත් වැඩක්ද ? අනෙක අධ්‍යාපනය අතින් කියා අඩුවක් පාඩුවක් තියෙනවාද ? අයියා එකම පන්තියේ අවුරුදු දෙකක් හිටියා නම් හිටියේ ඉගෙන ගන්න තිබුණු ආසාව නිසාම මිස වෙනත් බැරිකමක් නිසා නොවේය. "සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්" කියා නන්දා සුනිල් සුසංයෝගය කීවේ ඉස්සරය. දැන් ඒවා පරණ ය. යන යන තැන අයියා කැන්දාන ගොස් ඉහළම පුටුවේ ඉන්දන මේ සොහොයුරු පෙමට කොයි ඇමතිකමත් ඔට්ටුය. ජනපති අගමැති උනත් මට්ටු ය.
මේවාගේ ඒවාට කියන්නේ "සිත නිවන කතා" කියාය.
COMMENTS