ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව (NTPC ) එක්ව එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳ ශ්‍රී ලංකා ර...
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව (NTPC ) එක්ව එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳ ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරමින් සිටින බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ. මුලික අදියර ලෙස කෙරවලපිටිය ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ උපයෝගීතාව ඉහළ දැමීම සඳහා ඉන්දීය සහය ලබා ගැනීමට නියමිත බව හෙතෙම පෙන්වා දෙයි.
"අපි මේ දෙපාර්ශවයෙන්ම ඉල්ලලා තියෙන්නේ මේ බලාගාරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ලබා දෙන්න කියලා. මීට පෙර මෙගා වොට් 500ක ත්‍රිකුණාමලයේ සාම්පූර් බලාගාරය ඉදිකරන්නත් ඉන්දියාව එකඟ වුණා. එහිදීත් එකඟතාව තිබුණේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව එක්ව සම කොටස්කරුවන් ලෙස එහි වැඩ ආරම්භ කිරීමට. නමුත් එය ක්‍රියාත්මක කරන්න හැකි වුණේ නැහැ. මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගා වොට් 900ක විදුලි නිෂ්පාදනයක් වෙනවා. රටේ විදුලි අවශ්‍යතාවෙන් 50%ක් සපුරන්නේ මෙතනින්. මෙය මිල අධික වැඩක්. මේ වෙලාවේ අපිට පුළුවන් නම් ස්වභාවික ද්‍රව වායු සඳහා යොමු වෙන්න එය ගල් අඟුරු වලට වඩා ලාභ දායක දෙයක්.
තවත් දෙයක් කියන්න ඕනේ. රජයක් විදිහට අපි සැලසුම් කරලා තියෙනවා බලශක්ති ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා ජපානයේ සහයත් ලබා ගන්න. ඒ අනුව ශ්‍රී ලංකාව,ඉන්දියාව හා ජපානය සමඟ එක්ව විදුලි ක්ෂේත්‍රය දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කෙරවලපිටියටත් ජපානයේ සහය ලබා ගන්න පුළුවන්.ඒ අනුව ජපානය සමඟ එක්ව මෙගා වොට් 500ක ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් ඉදිකිරීමට යෝජිතයි.
ඉන්දියාව සහ ජපානයත් අප සමඟ එක්වන්න උනන්දුවෙන් ඉන්නේ. මේ සියලු දෙයක්ම වෙන්නේ ටෙන්ඩර් පටිපාටියට යටත්ව. එයත් මෙහි තියෙන වැදගත් කාරණයක්. දැනටමත් අපි තීරණය කරලා තියෙනවා මෙගා වොට් 300ක ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් සඳහා ටෙන්ටර් කැදවන්න.
මේ අතර ඉන්දියාවට පුළුවන් අපෙන් සුළං බලය මිලදී ගන්න. මෙගා වොට් 5000ක සුළං බලයක් අප සතුව පවතිනවා. ඒ අනුව ඉන්දියාවට පුළුවන් මෙරට සුළං විදුලි බලාගාර සඳහා ආයෝජනය කරන්න. රටේ විදුලි බල පද්ධතිය නැංවීම සඳහා තමයි අපි මේ හැම සැලසුමක්ම හදන්නේ."
ඒ අනුව 2025 වසර වන විට පුනර්ජනනීය බලශක්තිය මෙගා වොට් 6400 දක්වා ඉහළ දමා ගැනීම රජයේ අරමුණ බව ආචාර්ය සුරේන් බටගොඩ මහතා වැඩිදුරටත් පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS