ජාතියක් ලෙස නිදහස ලැබූ අප අද කැපවිය යුත්තේ ආර්ථික නිදහස ලබාගැනීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එහිදී මෙරට උගතුන්ගේ ...
ජාතියක් ලෙස නිදහස ලැබූ අප අද කැපවිය යුත්තේ ආර්ථික නිදහස ලබාගැනීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එහිදී මෙරට උගතුන්ගේ මෙන්ම බුද්ධිමතුන්ගේ දැනුම නව නිපැයුම්, නිපුණ ශ‍්‍රම බලකායේ කාර්යක්ෂමතාවය, ගොවි, කම්කරු ඇතුළු සියලු වැඩකරන ජනතාවගේ ශ‍්‍රම ශක්තිය කිසිවිටෙකත් අමතක නොකළ යුතු බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති 69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමිනි. ජාතික සමගිය, තේමා කරගනිමින් ඉතා අභිමානවත් අයුරින් සැමරුම් උත්සවය පැවැත්විණි.
උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ 21 වන සියවසේ රටේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමට නම් පළමුව අප ආර්ථික සමෘද්ධිය ඇතිකරගත යුතු බවයි. එහිදි රජය ප‍්‍රමුඛත්වය ලබාදෙන්නේ තරුණ පරපුරට බවත්, දැනුම මුල්කරගත් අධ්‍යාපනයක්, දැනුම මුල්කරගත් ආර්ථිකයක් සමග නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ ක‍්‍රියාවලියේ උරුමකරුවෝ ද භාරකරුවෝද වන්නේ අපේ තරුණ පරපුර බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
21 වන සියවසට ගැළපෙන නූතන රාජ්‍යයක් ලෙස අපේ උතුම් මාතෘ භූමිය ගොඩනැඟීමේදී දේශපාලන ස්ථාවරභාවය මෙන්ම සමාජ සංවර්ධනය ඉතා අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සාධක ඉටුකර ගැනීම සඳහා රටතුළ වාර්ගික සංහිඳියාව සහ ආගමික සහජීවනය ශක්තිමත්වීම අත්‍යාවශ්‍ය බව ද කියා සිටියේය.
රට තුළ වාර්ගික සංහිඳියාව සහ ජාතික සමඟිය ඇති කිරීම සඳහා රජයක් ලෙස විශාල කැපවීමකින් හා අධිෂ්ඨානයකින් යුතුව ගෙන යන වැඩපිළිවෙළ අද ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද පැසසුමට ලක්ව තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ඊට විරුද්ධව කටයුතු කරන අවස්ථාවාදී බලවේග ද සිටින අතර පටු චේතනාවෙන් කටයුතු කරන එම අවස්ථාවාදී බලවේග තමා හඳුන්වන්නේ මාතෘ භූමියට එරෙහි බලවේග ලෙස බව ද කියා සිටියේය.
රට ගොඩනගමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීමේදී සියලු දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් වංචාව, දූෂණය, නාස්තිය සහ හොරකම පිටුදකිමින් අවංකභාවයෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්, පළාත් මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරධිත පිරිසක් මීට එක්ව සිටියහ.
COMMENTS