කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ජනවාරි 06 සිට අප්‍රේල් 05 දක්වා මාස තුනක කාලයක් දහවල් කාලයේ ගුවන...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ජනවාරි 06 සිට අප්‍රේල් 05 දක්වා මාස තුනක කාලයක් දහවල් කාලයේ ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙදී පැවැති මාධ්‍ය හමුවකදීය.
වර්තමානයේ ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 28 ක් දිනකට ගුවන් ගමන් වාර 177 ක් කටුනායක සිට ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා දිනයකට මගීන් 25,000 ක් හා භාණ්ඩ මෙට්‍රේක් ටොන් 300 ක් හසුරවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
නවීකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 41 ක් වැය වන බවත් එය චීන සමාගමකට පවරා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය දිගින් හා පළලින් වැඩි වෙයි. ඒ හරහා ලොව විශාලතම A-380 එයා බස් යානා කටුනායකට ගොඩ බැස්සවීමට අවස්ථාව ලැබෙන බවත් නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය වසර 30 ක කාලයක් භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නවීකරණය උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8 ක කාලයක් සිදුවෙන හෙයින් එම කාලය තුළදී ගුවන් ගමන් සිදු නොවෙයි.
COMMENTS