සමස්ත බෞද්ධ ජනතාවගේම ගෞරව සම්භාවනාවට පාත්‍රව වැඩ සිටින සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, භාෂාන්තර විශාරද දව...
සමස්ත බෞද්ධ ජනතාවගේම ගෞරව සම්භාවනාවට පාත්‍රව වැඩ සිටින සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, භාෂාන්තර විශාරද දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර මහා නාහිමියන්ගේ එකසිය දෙවැනි ජන්ම දිනය අදට (31) දිනට යෙදී තිබේ.
1915 දෙසැම්බර් 31 වැනි දින ආලෝක මුදියන්සේලාගේ කවුරාළ උපාසක මහතාට සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ උපාසිකා මාතාවගේ නවවැනි පින්වත් දරුවාව මෙලොව ජන්ම ලාභය ලද පින්වන්ත කුල කුමරු ඌමෑලේ සිරි පියරතන නාහිමියන්ගේ සහ ඌමැලේ පඤ්ඤානන්ද මහනාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක ලෙස 1928 මාර්තු 08 වැනි දින උඩරට අමරපුර සංඝ සභාවට අයත් සපුගොල්ල තපෝධනාරාම විහාරස්ථානයේදී උතුම් ප්‍රවුජ්‍යා භූමියට පත් වූහ.
දවුල්දෙණ මහනාහිමියෝ ප්‍රථම ගුරුපත්වීම් ලැබ හුණුපිටිය ශ්‍රී ඤානේශ්වර පිරිවෙනට එක් වූ අතර එහි පරිවේනාධිපතීන් වහන්සේ වශයෙන්ද කටයුතු කළ අතර අනතුරුව ගම්‍පොළ ශ්‍රී බුවනෙක පිරිවෙන, මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනය, මාලබේ ශ්‍රී රාහුල විද්‍යාලය, විදුදය මහා පිරිවෙන, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇතුළු විද්‍යාස්ථාන කේන්ද්‍ර කොට ගනිමින් රටට දැයට වැඩ ඇති ශිෂ්‍යයන් දහස් ගණනක් බිහි කරලීමට පුරෝගාමී වූහ. එසේම මහා නාහිමියෝ කලක් තායිවානයේ ජුංහුවා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළහ.
උන්වහන්සේ විදෙස් ධර්මදූත සේවය පිණිස නොවැඩි රටක් නොමැති තරම්ය. ස්ව පාණ්ඩිත්වය මොනවට විදහා දක්වමින් රචනා කළ ධර්ම ශාස්ත්‍රීය ග්‍රාන්ථ එමටය.
නාහිමි ලේඛන දිවියේ වැදගත් සිද්ධියක් ලෙස තායිලන්තයේදී “වයිරාග්‍ය චින්තා” කෘතිය රචනා කිරීම දැක්විය හැකි අතර “යති දූතම්”, “මාරඟන විජයම්”, “ධම්ම චින්තා”, “රාජරත්නාකරය”, “යශෝධරා කාව්‍යම්”, “ශ්වානස්තවකාව්‍යම්” උන්වහන්සේ රචනා කරන ලද කිහිපයක් වූ කෘතීන්ය.
අග්ගමහා පණ්ඩිත, සංස්කෘත චක්‍රවර්තී, දෛවී හා විශාරද, භාෂාන්තර විශාරද, සංස්කෘතික සාහිත්‍ය සරස්වතී ආදී උපාධි, ගරු සම්මුති නාම රැසකින් පිදුම් ලද දවුල්දෙණ මහ නාහිමියෝ වත්මන වැඩසිටින ධර්ම භාණ්ඩාගාරයක්ම වැන්න.
COMMENTS