ලංකා පුවත් ආයතනය හා එහි ප්‍රධාන විධායක නිලධාරිනිය සම්බන්ධයෙන් තමන් වෙත ලැබී ඇති බරපතළ චෝදනා සහ පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන...
ලංකා පුවත් ආයතනය හා එහි ප්‍රධාන විධායක නිලධාරිනිය සම්බන්ධයෙන් තමන් වෙත ලැබී ඇති බරපතළ චෝදනා සහ පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ලංකා පුවත් ආයතනයේ ක්‍රියාකාරීත්වය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
එම ආයතනය තුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය පරීක්‍ෂා කොට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පංචපුද්ගල කමිටුවක් පත්කර ඇත.
ඒ අනුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එච්.ඩී.එස්. මල්කාන්ති, අතිරේක ලේකම් (සංවර්ධන) බී.කේ.එස්. රවීන්ද්‍ර, ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.ජී. වන්නිආරච්චි, ප්‍රධාන ගණකාධිකාරි ජී.ඒ. තිලකරත්න, නීති නිලධාරි ඩී.පී.යූ. වේලාරත්න යන අය එම කමිටු සාමාජිකයෝ ලෙස පත් කර තිබේ.
ලංකා පුවත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනියට එල්ල වී ඇති බරපතළ චෝදනා පිළිබඳව ආරම්භ කළ විමර්ශනයට අදාළව ඇගේ වැඩ තහනම් කරන ලෙස ලේකම්වරයා ලංකා පුවත් සභාපතිවරයාට නිකුත් කරන ලද ලිපිය අනුව ඇගේ වැඩ තහනම් කිරීමෙන් පසුවද ඇය එම ආයතනයට පැමිණ එම කාර්ය මණ්ඩලයට තර්ජනය කර පොලිසියද සම්බන්ධ කරගනිමින් විනය විරෝධීව හැසිරුණු බවට අමාත්‍යාංශ ලේකම්වරයාට ලද පැමිණිලි තහවුරු වීමෙන්, එම ආයතනය තුළ නීති විරෝධීව රැඳී සිටිමින් එම නිලධාරිනිය කරනු ලැබුවැයි කියන තර්ජන හේතුවෙන් එම ආයතනයේ ක්‍රියාකාරීත්වය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
COMMENTS