මෙරට තුළ සංහිඳියාවක් ඇතිවීමට නම් උතුරේ මෙන්ම දකුණේ ද සංහිඳියාව ඇතිවියයුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවස...
මෙරට තුළ සංහිඳියාවක් ඇතිවීමට නම් උතුරේ මෙන්ම දකුණේ ද සංහිඳියාව ඇතිවියයුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) සවස ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කට ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ හා බෞද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
" තිස්සමහාරාම පන්සලේ හිටිය නායක හාමුදුරුවන්ගෙ අලියා අරගෙන ගියා. කතරගම දේවාලෙ අලියා අරගෙන ගියා. ගංගාරාම පන්සලේ අලියා අරන් ගියා. දැන් මේ අලි අරගෙන ගිහිල්ලා පින්නවලට දාල' පින්නවලදි අර අලියා බලාගත්ත ඇත්ගොව්වා නෙවෙයි ඔවුන් බලා ගන්නෙ. ඒ නිසා අලියාට මහත් කරදර වෙලා තියෙනවා. තුවාල වෙලා තියෙනවා. මැරිලා තියෙනවා. මේවා පිළිබඳව කවුරුවත් කථාකරන්නෙ නැහැ. කතරගම දේවාලෙ අලියා අරන් ගිහිල්ලා දවස් 21ක් යන්න ඉස්සරවෙලා මේ ආණ්ඩුවට එෆ්.සී.අයි.ඩී එකට, සී.අයි.ඩී එකට, අල්ලස් කොමසාරිස් ජනරාල්වරයට රටේ ජනාධිපතිතුමා මහත් චෝදනාවක් කරනවා, විතරක් නෙවෙයි එතුමා කියනවා මම කාටවත් බය නෑ කියලා. මම දන්නෙ නෑ රටේ විධායක ජනාධිපතිවරයා බය කරන්න කවුරුවත් හැදුවද කියලා. අපි හිතනවා මේ කියන්න ඇත්තෙ අගමැතිතුමාට වෙන්න ඇති. එතුමා මේ ගැන කථා කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මම නම් පුදුම වුණා මේවා නොදන්නවයි කියලා.
අපිට මේ කාලය තුළ දී යුද්ධයක් අවසන් කරලා රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි යෙදුවා. රටක් සංවර්ධනය වෙනකොට ජනතාවත් සංවර්ධනය විය යුතුයි. ඒ කාර්යභාරය රජයකට විතරක් කරන්න පුළුවන්කමක් නෑ. ඒකට ජනතාවගේ සහයෝගය වගේම ගරුතර මහා සංඝරත්නයේ මගපෙන්වීම අවශ්‍ය වෙනවා. අද මේ ආණ්ඩු කරන විදියට 15 වෙනිදයින් පස්සෙ බලයට ආවට පස්සෙ පාර්ලිමේන්තුව දෙපැත්තක් හැදුනයින් පස්සෙ මේ ආණ්ඩුව හරියට ගොනයි මීමයි - එළ හරකයි මී හරකයි එකට බැඳලා කුඹුරු හාන්න ගියා වගේ වැඩක් වෙන්න යන්නෙ. මං හිතන්නෙ ඒක අද පැහැදිළිව පේනවා.
රටේ විධායක ජනාදිපතිවරයා ශක්තිමත්ව ඉන්නකොට තමයි රටකට වැඩක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මේ අවරුදු 02 තුළ මේ සියලු දෙනා කළේ පලිගැනීම. මගෙන් පලිගැනීම. පවුලෙන් පලිගැනීම, විතරක් නෙවෙයි අවසානයේ හාමුදුරුවරුන්ගෙනුත් පලිගන්න පටන්ගත්තා. එෆ්.සී.අයි.ඩී එකට අරන් යනවා. පන්සල හැදුවෙ කොහොමද කියලා අහනවා. මේකට සල්ලි දුන්නෙ කවුද ලැයිස්තුව අහනවා. ඒ පාර ඒ ලැයිස්තුව හොයාගෙන යනවා. ගිහිල්ලා අහනවා කීයක් දුන්නද කියලා. මේ විදියට පහළොස්දාහකට විසිදාහකට වැඩිය රජයේ සේවකයෝ, ව්‍යාපාරිකයෝ, හාමුදුරුවරු අරගෙන ගිහිල්ලා කරදරයට පත්කරනවා. හාමුදුරුවරු අද වනවිට 48 දෙනෙක් හිරගෙදර. උඩුවෙ ධම්මාලෝක නායක හැමුදුරුවොත් එයින් එක්කෙනෙක් බවට පත් වුණා.
අපේ ඉතිහාසයේ මෙහෙම වුණේ නෑ. අපි මහා සංඝයා හට සලකපු හැටි අපි දන්නවා. අපේ කාලයේ තමයි බෞද්ධ ප්‍රබෝදයක් ආපහු ආවේ. එක කාටවත් නෑ කියන්න පුළුවන් කමක් නෑ. රට සංවර්ධනය කරා විතරක් නෙවෙයි, පන්සල්, කෝවිල්, විනාශ කරලා දාපු මුස්ලිම් පල්ලි අපි ගොඩනැගුවා. නමුත් ඒ සමහර පන්සල්වල තිබු බුද්ධ රුප ඉවත්කරගෙන යන එක තමයි අපිට තිබෙන කණගාටුව.
අද ඕනෑම රුපවාහිනි නාලිකාවක් අපිට බනින ඒවානම් දානවා. මොකද අද මාධ්‍යට වාරණයක් නෑ කියලා කිව්වට වාරණය හොදටම දාලා තියෙන්නේ මේ යුගයේ තමයි. ගෙනල්ලා පුද්ගලිකව අයිතිකාරයට බනිනවා. පාර්ලිමේන්තුවේ නම් කියලා වාර්තාකාරයින්ට බනිනවා. මෙවැනි යුගයක් මීට පෙර තිබුනේ නෑ".
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS