ආණ්ඩුවට බරක් නොවී පැල්පත්වාසීන් නගා සිටුවීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය භාරගෙන ඇති බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක...
ආණ්ඩුවට බරක් නොවී පැල්පත්වාසීන් නගා සිටුවීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය භාරගෙන ඇති බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක පවසයි.
මාලිගාවත්ත ආදී ප‍්‍රදේශවල මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් මහල් නිවාස ඉදිවූ බවත් රජයේ කිසිම ආධාරයකින් තොරව ආණ්ඩුවේ කිසිම බදු මුදලක් වැය කරන්නේ නැතිව මේ පවුල් 70,000 නගා සිටුවීමේ වගකීම, නාගරික සංවර්ධන අධිකාරිය භාරගෙනඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනයට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කරනු ලැබූ ‘රිද්ම සැරිය’ වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපේ රටේ දුප්පත් කම ගැන, විශේෂයෙන්ම නැති බැරි අය නගා සිටුවීම ගැන විවිධ ව්‍යාපෘති විවිධ කාලවල විවිධ පුද්ගලයින් විසින් දියත් කළා. මම මේ රටේ බොහෝ ප‍්‍රදේශවලට ගිහින් තියෙනවා. රටේ විදුලිබල ඇමතිවරයා හැටියට, පාරිසරික ඇමතිවරයා හැටියට. දුප්පත් කම මේ රටේ උතුරේ කොහොමද තියෙන්නේ, නැගෙනහිර කොහොමද තියෙන්නේ, ඒ වගේම ඌවේ දකුණේ ආදී ප‍්‍රදේශවල කොහොමද ඒක තියෙන්නේ කියලා දැකලා තියෙනවා. නූගත් කම ගැන කතා කළාමත් එහෙමයි. හැබැයි මේ කොළඹ නගරයේ ජීවත්වන අවවරප‍්‍රසාදිත අපේ පවුල් වගේ පවුල් ප‍්‍රමාණයක් නම් මම මේ ලංකාවේ කොහේවත් දැක්කේ නැහැ. ඇත්තටම හුගාක් දෙනෙක් ගම්වලට උදව් කරන්න කියලා යනවා, ගම්වල දරුවෝ නගා සිටුවන්න කියලා යනවා, පවුල් නගා සිටුවන්න කියලා යනවා, නමුත් ඒ හුගාක් දෙනෙක් අමතක කරනවා අපේ දෙපා ලගම අපේ දෑත් ලගම පවුල් 70000 කට අධික ප‍්‍රමාණයක් ඉන්නවා කියලා ශක්තිය අවශ්‍ය ඒ වගේම අපේ දායකත්වය අවශ්‍ය.
ඉතින් අපි සතුටු වෙනවා රජයේ කිසිම ආධාරයකින් තොරව ආණ්ඩුවේ කිසිම බදු මුදලක් වැය කරන්නේ නැතිව මේ පවුල් 70000 නගා සිටුවීමේ වගකීම, නාගරික සංවර්ධන අධිකාරිය භාරගෙන තිබීම ගැන. මීට කලින් කොළඹ නගරේ ගෙවල් හැදුනා. මාලිගාවත්ත ආදී ප‍්‍රදේශවල මහල් නිවාස ඉදිවුණා. ඒ හැම දෙයක්ම ඉදි වුනේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින්. නමුත් මේ නාගරික සංවර්ධන අධිකාරිය උර දීලා තියෙන, කර දීලා තියෙන මේ කි‍්‍රයාවලියට තාමත් රජයෙන් එක සතයක්වත් ලැබිලා නැහැ.
''අපි දන්නවා උතුරට නිවාස හදන්න විදේශ රටවල් ඉදිරිපත් උනා. සුනාමියට නිවාස හදන්න විදේශ ආධාර ආවා. දේශීය ආධාර ආවා. හැබැයි ජීවන සුනාමියකට මුහුණ දීලා තියෙන කොළඹ හා අවට ප‍්‍රදේශවල මේ අව වරප‍්‍රසාධිත පවුල් ගොඩනගන්න ඒ කාගෙවත් අවදානයක් යොමු වෙලා නැහැ. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගෙන තියෙනවා මේ මහා ව්‍යාපෘති කෙසේ හෝ අවසන් කරන්න. මට මතකයි අපි 2010 අධිෂ්ඨානයක් ගෙනාවා රටේ සෑම බිම් අගලකටම විදුලිය ගෙන යනවයි කියලා. විශේෂයෙන්ම අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ කටයුත්ත කරනවා කියලා. ඒකට ඒ අවස්ථාවේ සතයක්වත් තිබුනේ නැහැ. නමුත් අද රට දිහා ආපහු හැරිලා බලන කොට පේනවා අද මේ ලංකාවේ විදුලිය නැති ගමක් නැහැ. මුළු රටටම ඒ විදුලිය ලැබිලා ඒ දකුණු ආසියාවේ විදුලිය 100% ක් තියෙන එකම රට බවට අපේ රට පත්වෙලා තියෙනවා. එම නිසා අපේ නාගරික සංවර්ධන අධිකාරිය අලූත් අධිෂ්ඨානයක් ඇතිකරගෙන තියෙනවා, කොළඹ ලස්සන ගොඩනැගිලි අහස උසට ගොඩ නැගුනට වැඩක් නැහැ, කොළඹ ලස්සන පාසල්, විශ්ව විද්‍යාල ගොඩ නැගුනට වැඩක් නැහැ. මේවා කොළඹ පාමුලම අපේ පවුල්වලට දරුවන්ට ඒවට දායකත්වයක් නැත්නම්. මෙතන අල්ලපු වැටේ කොළඹ විශ්ව විද්‍යාලය තියෙනවා.
ඒ විශ්ව විද්‍යාලයට අපේ අවවරප‍්‍රසාධිත පවුල්වල දරුවෝ කී දෙනෙක් ගිහිල්ලා තියෙනවාද කියලා. ඒකට අල්ලපු වැටේ රටේ තියෙන විශාලතම පාසල තියෙනවා කොළඹ රාජකීය විද්‍යාලය. ඒකට කී දෙනෙක් අපේ දරුවන් ගිහිල්ලා තියෙනවද? ඒ නිසා අපි කල්පනා කළා නියම රාජකීයෝ කී දෙනෙක් අපේ දරුවන් අතරින් ගොඩ නගන වැඩසටහනක් අපට අවශ්‍යයි. ඒ වගේම අපේ පවුල් නගා සිටුවන වැඩපිළිවලක් අවශ්‍යයි. නිවාසයක් දීලා කෙසේ හෝ එකෙන් අපට කුලී ගෙවන්න කියලා බල කරන ව්‍යාපාරයකට වඩා ජීවන මට්ටම් වලින්, රැකියා මට්ටම්වලින්, කුසලතා මට්ටම්වලින් සෑම පවුලක්ම නගා සිටුවන්නයි අපේ උත්සාහය. “ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS