ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකිරීම හේතුවෙන් ධීවරයින්ට සිදුවන බලපෑම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව මහා නගර හා බස්නාහිර ස...
ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකිරීම හේතුවෙන් ධීවරයින්ට සිදුවන බලපෑම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව 10 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ සඳහා පත් කර ඇති බවත් ඊට ධීවර ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයින් 05 දෙනෙකු සහ අමාත්‍යාංශය සහ ව්‍යාපෘති කණ්ඩායම් නියෝජනය කරමින් නියෝජිතයින් 05 දෙනෙකු ඇතුළත් වන බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොළඹ ඉදිවන ජාත්‍යන්තර මූල්‍ය නගරය නිර්මාණය කිරීමේදී ගොඩබිම සහ මුහුද ආශ්‍රිත ප්‍රදේශයන් ගොඩකිරීම සඳහා අවශ්‍යවන වැලි ලබාගැනීම මුහුදේ හඳුනාගත් ස්ථාන කිහිපයකින් මේ වනවිට සිදු කරමින් පවතී. එම ක්‍රියාවලිය ආරම්භයත් සමඟ ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය අස්වැන්න සහ ගල්පර ආශ්‍රිත මත්ස්‍ය භූමි විනාශයට පත්වනවා යැයි පවසමින් ධීවර විරෝධතාවක් පසුගියදා පැවැත්විණ.
මෙම ව්‍යාපෘතිය ආරම්භයට පෙර සිටම ධීවර වෘත්තීය සමිති නායකයින් සහ ධීවර ප්‍රජාව මෙන්ම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සෘජු සහ වක්‍ර පාර්ශවයන් සමඟ ව්‍යාපෘති කණ්ඩායම සාකච්ඡා පවත්වා ඉන් අනතුරුව හානිය අවමවන මට්ටමින් කාර්යයන් කිරීම සඳහා එකඟත්වයකට එළඹ ඇත.
එහිදී ධීවර අස්වැන්න පෙරට සාපේක්ෂව අඩුවක් සිදුවී ඇත්නම් ඒ සඳහා වන විධිමත් අධ්‍යයනයකින් පසුව මත්ස්‍ය ආදායමේ අඩුවට සරිලන මූල්‍ය ප්‍රදානයක් පිරිනැමීමට විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ වනවිටත් උපදෙස් ලබාදී ඇත.
කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් පසුවද ධීවර ප්‍රජාවන්ට ගැටළු මතුවුවහොත් ඒ සම්බන්ධව කටයුතු කිරීමට ධීවර ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයන් 05 දෙනෙකු සහ අමාත්‍යාංශය සහ ව්‍යාපෘති කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයන් 05 දෙනෙකුගෙන් සැදුම්ලත් 10 දෙනෙකුගේ කණ්ඩායමක් පත්කර ඇත.
එමෙන්ම, ගල්පර ආශ්‍රිතව මත්ස්‍ය භූමි විනාශවනවාදැයි නිරීක්ෂණය සඳහා අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාවයක් දක්වන නිලධාරීන් සමඟ මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ග ජයවර්ධන යන මහත්වරුන් අදාළ ධීවරයින් සමඟ මෙම ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක පසුගිය 22 වැනිදා නිරත විය.
ඊයේ (23) උදෑසන ධීවර ප්‍රජාව සහ ව්‍යාපෘති කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ධීවර ප්‍රජාවගේ ගැටළුවලට කමිටු ආශ්‍රයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන අතරම ජාත්‍යන්තර මූල්‍ය නගරයේ මේ වනවිට ක්‍රියාත්මක සෑම සංවර්ධන කටයුත්තක්ම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක බවද ව්‍යාපෘති කාර්යාලය දන්වා සිටී.
COMMENTS