කැමරාවක් ගුවනට නංවා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගන්නා අවස්ථාවේ දර්ශන ලබා ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය සදාචාරයට එකඟ නොවන බව ප්‍ර...
කැමරාවක් ගුවනට නංවා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගන්නා අවස්ථාවේ දර්ශන ලබා ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය සදාචාරයට එකඟ නොවන බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
කෙනෙකුගේ පෞද්ගලිකත්වය හා බැඳුණු සිදුවීමක් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදියා සාහසික නොවිය යුතු බව ඔහු සඳහන් කළේය.
'මේ වගේ කරුණු සම්බන්ධයෙන් රජයක් නීති පැනවිය යුතු නැහැ. නමුත් මාධ්‍යවේදීන් අතරම සම්ප්‍රදායන් ගොඩ නගා ගත යුතුයි. ලසන්ත වෙනුවට අපිට ඇට සැකිල්ලක් පෙන්නනවා නම් ඒක හොඳද? ඒක බලන එක හොඳද? ඒක ලසන්තට හොඳද?,' යැයි බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් වික්ටර් අයිවන් මහතා කියා සිටියේය.
මෙවැනි සංවේදී අවස්ථාවල සමාජයේ වගකිවයුතු වෘත්තිකයන් වශයෙන් ජනමාධ්‍යවේදීන් සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ වෘත්තිය සදාචාරය අවුලකට පත් වීම මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
'ලංකාවේ වෛද්‍යවරුන්ගේ සදාචාරය ගැන ලොකු අවුලක් තිබෙනවා. බදු ගෙවන්නන්ගේ ආයතනවල ලොකු සදාචාරාත්මක අවුලක් තිබෙනවා. ලංකාවේ තිබෙන ප්‍රශ්නයක් තමයි ඇතැම් නඩුකාරයන්ට, දේශපාලනඥයාට, මාධ්‍යවේදියාට වෘත්තීයවේදියකු හැටියට තමන්ගේ සමාජ කාර්යභාරය පිළිබඳ හැඟීමක් නැහැ, ඒ පිළිබඳ අර්ථකතනයකුත් නැහැ.' වික්ටර් අයිවන් මහතා එහිදී වැඩිදුරටත් පැවසී ය.
කෙසේවෙතත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු ඊයේ (27) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
එහිදී සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මිහිදන් කළ සොහොනට උඩින් ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබිණි.
ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී ඇතැයි වාර්තා විය.
සුසාන භූමියේ වැටෙන් එහා සිටින මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දිව ආවද ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි වී ඇත.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඉල්ලීම මත එම අවස්ථාව ආවරණය කිරීමට පොලීසිය මාධ්‍යවේදීන්ට අවසර ලබාදී නොතිබූ අතර ඒ අතරතුර මෙම ඩ්‍රෝන කැමරාවක් සැරිසරා දේහය ගොඩගැනීමේ කටයුතු රූ ගත කිරීමට උත්සාහ දරා ඇත.
COMMENTS