හිරු නාලිකාවේ විකාශයවන බලය දේශපාලන සංවාද වැඩසටහනට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දා සහභාගී විය. එම සජීවී වැඩසටහන අතරතුර දී ...
හිරු නාලිකාවේ විකාශයවන බලය දේශපාලන සංවාද වැඩසටහනට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දා සහභාගී විය.
එම සජීවී වැඩසටහන අතරතුර දී ප්‍රේක්ෂකයෙකු දුරකතන මාර්ගය ඔස්සේ සම්බන්ධ වී යොමු කළ පැනයක් සම්බන්ධව මේවන විට තරමක් ආන්දෝලනාත්මක ස්වරූපයක් ගෙන තිබේ.
අදාළ ප්‍රේක්ෂකයා කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත කියාසිටියේ මෙරට ප්‍රධාන පක්ෂ දෙකම තම අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්කරමින් සිටින බවත් එම පක්ෂ දේශපාලන ගැටලු හමුවේ අවසානයේ ජනතාවගේ ගැටලු යට යන බවත් ය.
ඒ සම්බන්ධව ඝෘජුව පිළිතුරක් ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.
ප්‍රේක්ෂක ඇමතුමෙන් පසු අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පැවසූවේ අදාළ ප්‍රේක්ෂකයාගේ භාෂා විලාශය, භාවිතා කළ වචන සහ කටහඬ ආදිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට සමානවන බව යි.
එමෙන්ම ඔහු විමසා සිටි ප්‍රශ්ණය තුළ අඩංගු වූ ආකල්ප ද අනුර කුමාර මහතාගේ ආකල්පවලට සමානවන බව ද රඹුක්වැල්ල මහතා කියා සිටියේ ය.
"එතුමාට මෙතැන පිළිතුරු දෙන්න බෑ. ජනතාවගේ ප්‍රශ්නය කියලා ඔහු කියන්නේ තුන්වෙනි බලවේගයක් ගොඩනඟන්න කියලනේ. ඒකනේ නොකියා කියන්නේ. දැන් තුන්වෙනි බලවේගයක් එන්න, මේ දෙක ඇති කියලනේ ඔය කියන්නේ" යනුවෙන් පැවසූ හිටපු අමාත්‍යවරයා ප්‍රේක්ෂකයාගේ ගැටළුවට ඍජු පිළිතුරක් ලබා දීම මගහැරියේ ය.
කෙසේ වෙතත් මෙම සිදුවීම Facebook ඇතුළු සමාජ මාධ්‍ය තුළ තරමක කතාබහට ලක්ව ඇති අතර වෙනත් නමක් භාවිත කරමින් සජීවීව හිරු නාළිකාව ඇමතුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවට මතයක් ගොඩ නැගෙමින් පවතියි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ද මෙවැනි සිදුවීමක් වාර්තා වූ අතර එය සිදු වූයේ දෙරණ නාළිකාවේ විකාශයවන "වාද පිටිය" දේශපාලන වැඩසටහන අතරතුර දී ය.
එම වැඩසටහනට පැමිණ සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත අසන්නෙක් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් නිසා ඒ මහතා දැඩි නොසන්සුන්කාරී වූ අතර පසුව ඔහු සජීවී වැඩසටහන අතරතුර දෙරණ මැදිරියෙන් නැගිට ගියේ ය.
වෙනත් නමක් භාවිත කරමින්, කට හඬ ද වෙනස් කර එම දුරකතන ඇමතුම ලබා දුන්නේ රන්ජන් රාමනායක මහතා බවට පසුව චෝදනා එල්ල විය.
වීඩියෝව පහතින් > > >
COMMENTS