කොළඹ තවදුරටත් අග නගරය හැටියට තබාගෙන දෙවෙනි අග නගර ගණනාවක් ගොඩනැංවීමට බලාපොරොත්තු වන බවත් කඩුවෙල රටේ දෙවෙනි අග නගරයක් ලෙස වැඩිදියුණු කිරීමට...
කොළඹ තවදුරටත් අග නගරය හැටියට තබාගෙන දෙවෙනි අග නගර ගණනාවක් ගොඩනැංවීමට බලාපොරොත්තු වන බවත් කඩුවෙල රටේ දෙවෙනි අග නගරයක් ලෙස වැඩිදියුණු කිරීමට ඉදිරි වසරේදි පියවර ගන්නා බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යා පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ(11) කඩුවෙල පොළ සහ අතිරේක බස්නැවතුම්පොලෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
කොළඹ නගරය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් කඩුවෙලට ගෙන එන බවත් එහි පළවෙනි පියවර නව කැළණි නව පාලමත් එක්ක ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය,
“බොහෝ කාලයක් සැලසුම් කරලා නඩු හබ ආදී නොයෙක් නොයෙක් ගැටළු ගැටුම් මැද්දේ තිබිච්ච මේ වෙළඳපොළ සහ බස්රථ නැවතුම්පල ඉදිකිරීම් ආරම්භ කරන්නට අපට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපේ මේ බස්නාහිර මහා නගර අමාත්‍යාංශයෙන් තමයි මුළු රටේම නාගරික සංවර්ධනය කෙරෙන්නේ. ඒ අනුව අපි දැන් ආරම්භ කරලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය යටතේත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේත්, රට පුරාම සුඛිත පුරවර නමින් අපි නගර උප නගර 73ක දැන් සංවර්ධන කටයුතු කරගෙන යනවා. අපි ඉතින් වැඩි සද්දයක් නැති උනත් ඒ කටයුතු ශක්තිමත්ව අපි සිදුකරගෙන යනවා.“
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ඒ වගේම අපි ඉදිරි කාලයේදී අපේ මහා නගර සැලසුමේ පියවරෙන් පියවර, මේ වසරේ අපේ ඒ ආරම්භ කටයුතු ආරම්භ කරන්නට කටයුතු කරන බවත් කියන්න ඕනේ. විශේෂයෙන්ම අපි වරාය නගරය මූල්‍ය නගරයක් හැටියට, ඒ වගේම තාක්ෂණ නගරය පළමු පියවර අපේ තාක්ෂණ ඇමතිතුමා එක්කත් එකතු වෙලා අපි ඉදිරි කෙටි කාලය ඇතුළත තබන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ හැම දෙනාම දවන මේ ප‍්‍රවාහන ප‍්‍රශ්නයට පිළියමක් හැටියට ඒ මධ්‍යම ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් කොළඹ කියන්නේ තවදුරටත් ජනගහණය පදිංචි වෙන තැනක් නෙමෙයි. පහුගිය අවුරුදු 30 කාලය ඇතුළත කොළඹ නගරයේ ජනගහනය වෙනස් වෙලා නැහැ. 1991 දීත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස්දාහයි. දෙදහස් දොලහෙදිත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස් දාහයි. එතකොට කොහේද නාගරීකරණය වෙන්නේ. නාගරිකකරණය වෙන්නේ මේ කඩුවෙල මාලබේ, හෝමාගම, කැස්බෑව ආදී ප‍්‍රදේශවල තමයි නාගරීකරණය වෙන්නේ. ඒ නිසා අපේ නාගරික සැලැස්මේ වැදගත් පියවරක් වන්නේ කුමක්ද කොළඹ තවදුරටත් අපේ අග නගරය හැටියට තියෙන කොට දෙවෙනි අග නගර ගණනාවක් මේ වටපිටාවේ ගොඩනැංග්වීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතනදි මේ කඩුවෙල ගැන කියනවා නම් රටේ දෙවෙනි අග නගරයක් ලෙස මේ කඩුවෙල, මාලබේ ප‍්‍රදේශය වැඩිදියුණු කිරීමට අපි ඉදිරි වසරේදි පියවර ගන්නා බව අපි ඔබ හැමට ප‍්‍රකාශ කරනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. මේ අධිවේගී මාර්ගයක් කඩුවෙලා හරහා ගමන් කරනවා. අපිඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් කඩුවෙලට ගෙන එන්න. එහි පළවෙනි පියවර අපි කැළණි නව පාලමත් එක්ක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහි දෙවන පියවරට ඉඩහසර විවෘත කරමින් ඉන්නවා. අපි හිතනවා ඉදිරි අවුරුදු පහ හය ඇතුළත ඒ කාර්යය අපට සඵල කර ගන්න පුළුවන් වෙයි කියලා. මේ මාලබේ කඩුවෙල සිට කොළඹ දෙසට තිබෙන විශාල මාර්ග තදබදය අඩු කිරීම සඳහා සැහැල්ලූ දුම්රිය සේවයක් මේ ප‍්‍රදේශය හරහා ඇති කරන්නත් අපි ඉදිරියේ සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව නියම දෙවෙනි අගනගරයක් ලෙස මේ කඩුවෙල වෘත්තීයවේදීන් විශාල පිරිසක් පදිංචිවෙලා ඉන්න ප‍්‍රදේශයක් හැටියට මේ කඩුවෙල ප‍්‍රදේශය දියුණු කරන්නට මාලබේ දියුණු කරන්නට, බත්තරමුල්ල දියුණු කරන්නට අපි කටයුතු කරන බව කියන්න ඕනේ.
ඒ වගේම කොළඹ නගරයේ පිහිටලා තියෙන සියළුම රාජ්‍ය ආයතන, ජනාධිපතිතුමාගේ කාර්යාලයේ සිට අග‍්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය සහ නිල නිවස ඇතුළු සියළුම රාජ්‍ය ආයතන 113 ක් අපි බත්තරමුල්ලට පියවරෙන් පියවර ගෙන එන්න කටයුතු කරනවා. ඒ අනුව, නියම පරිපාලන අග නගරය බවට බත්තරමුල්ල ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදේශය පත්වෙන බවත්, අපි බොහොම සතුටින් ඔබ හැමට ප‍්‍රකාශ කරන්න ඕනේ. ඒ අනුව මේ සියල්ලෙන්ම පේන්නේ මේ ප‍්‍රදේශය කොළඹටත් වඩා ශක්තිමත් දියුණු ප‍්‍රදේශයක් බවට පත්වෙන බවයි.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS