පළාත් පාලන ආයතන සතු බලතල විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කළ යුතු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි. ලේකම්...
පළාත් පාලන ආයතන සතු බලතල විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කළ යුතු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි.
ලේකම්වරයා මේ බව පැවසුවේ, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
පළාත් පාලනය පිළිබඳව මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පුහුණු කරන මෙරට එකම ආයතනය, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයයි. එම ආයතනයේ 2015/2016 අධ්‍යයන වර්ෂය සඳහා පැවැත්වූ පාඨමාලා දෙකක් සාර්ථකව හැදෑරු 73 දෙනෙකුට, කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා ඩිප්ලෝමා ප්‍රදානය කෙරුණා.
මෙම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා “පළාත් පාලනය පිළිබඳ ප්‍රතිපත්ති තීන්දු, තීරණ ගැනීමේ බලය තියෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට. වැරදියට තේරුම්ගන්න එපා, පළාත් සභා තියෙන්නේ අපේ අමාත්‍යංශය යටතේ කියලා. පළාත් සභා, ඇත්තටම බලය විමධ්‍යගත කිරීමේ ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය තුළ ඇතිවෙච්ච ආයතනය වන පළාත් සභාවට, ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ලබාදීලා තියෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති සකස් කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සහය ලබාදීම, රෙගුලාසි සකස් කිරීම සහ පළාත් පාලන ආයතන සම්බන්ධ අධීක්ෂණ කටයුතු අපේ අමාත්‍යංශයට පැවරිලා තියෙනවා. මේ කටයුතු කිරීමේදී දැනුමින් සපිරි මානව සම්පතක් පළාත් පාලන කේෂ්ත්‍රයට අවශ්‍ය වන අතර, ඒ සඳහා වන පාර්ලිමේන්තු පනතකින් අනුමත කළ එකම පුහුණු ආයතනය තමයි පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය. මේ ආයතනයේ මම දැක්ක විශේෂත්වයක් තියෙනවා. මෙම ආයතනයට පුළුවන් පළාත් පාලන නිලධාරීන් මෙන්ම, පළාත් පාලන මහජන නියෝජිතයන් ද පුහුණු කිරීම සඳහා අවකාශය ලබාදීම. පාර්ලිමේන්තුවෙන් බලතල ලබාදීලා තියෙන ලංකාවේ එකම ආයතනය මේක. ඒ වගේම පළාත් පාලන පනත් තුන ගත්තොත්, එමඟින් පුදුමාකාර බලයක් පළාත් පාලන ආයතන වලට ලබාදීලා තියෙනවා. ඒ බලතල ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ජනතා හිතවාදීව, ජනතා අවශ්‍යතා ඉටුවන පරිදි, ඒ වගේම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයෙන් ඔබ ලබාගත්ත මෙම යහපාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ඉතාමත් වැදගත් වෙනවා. මේ තුළින් පළාත් පාලන ආයතනයක කටයුතු කිරීමේදී විනිවිදභාවයකින් කටයුතු කළයුතු ආකාරය කියාදෙනවා. වර්තමානයේ සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත තුළින් ද ශක්තිමත් වන්නේ යහපාලනය මූලධර්මයි. එබැවින් පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා ආයතනය ලබාදෙන මෙම ඩිප්ලෝමාව තුළින් ජනතාවට වගකියන, ජන සමාජයට වගවන, පාලන ක්‍රමයක් ඇතිකිරීම සඳහා ඔබලත් දැනුම, තම පළාත් පාලන ආයතන වල ක්‍රියාත්මක කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.“
COMMENTS