ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා දියත් කළ 'ජන සටන' පාද යාත්‍රාව අතරතුර දී කුඩා දරුවකු දේශපාලන කර්තව්‍යයකට යොදවාගැනීමත් ඔහු ලවා ර...
ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා දියත් කළ 'ජන සටන' පාද යාත්‍රාව අතරතුර දී කුඩා දරුවකු දේශපාලන කර්තව්‍යයකට යොදවාගැනීමත් ඔහු ලවා රටේ ජනාධිපතිවරයාට අපහාස කරවීමත් ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් ඊයේ (02) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබේ.
එම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ කුඩා ළදරුවකු හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් රැසක් විසින් ඔවුන් ගමන් කළ පාද යාත්‍රාවේ ඉදිරිපසින් ගෙන යමින් ඔහු ලවා ඔවුන්ගේ දේශපාලන පළිගැනීම් ඉටුකරගනුවස් විවිධ සටන්පාඨ කියවමින් රටේ ජනාධිපතිවරයාට දැඩි ලෙස අපහාස කරවීම ඇතුළු වැරදිවලට එම දරුවා යොදාගැනීම බරපතළ වරදක් බවයි.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද පාද යාත්‍රාවේදී මෙම කුඩා දරුවා ලවා සටන්පාඨ කියවූ දේශපාලනඥයාට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ද බොහෝ දෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දුරකතන ඇමතුම් ද ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා සහ එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ගිරන්ත අමරසිංහ යන මහත්වරු විසින් නුගේගොඩ පිහිටි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ගොස් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළහ.
එම පැමිණිල්ල කරමින් ඔවුන් ඉල්ලා සිටියේ කුඩා ළමුන් මෙවැනි බාල දේශපාලන අතකොලු වැඩවලට යොදා ගැනීම එම ළදරුවාගේ මානසික තත්ත්වයට කරන විශාල හානියක් බවත්, එම පාද යාත්‍රාවේ ඉදිරිපසින්ම ඔහු තබාගෙන ඔහු ලවා එසේ සටන්පාඨ කියවීම, එසේ වැරදි දේ කරවා විශාල ජනකාය ඉදිරියේ එම වැරැද්ද අගය කර දරුවා සිපගෙන ඔහු සතුටට පත්කිරීම ද වැඩිහිටියන් විසින් ළමා පරපුරටම සිදුකරන අපරාධයක් බවයි.
එම දර්ශන ඇතුළත් වීඩියෝ පට ද එම සංවිධානය මගින් පොලිසිය වෙත බාරදී තිබේ.
මෙම පැමිණිල්ලට අමතරව එම සංවිධානය විසින් මින් ඉදිරියට දරුවන් දේශපාලන කර්තව්‍යයන්වලට යොදවා ගැනීමෙන් වළක්වන ලෙසට පනත ගෙනවිත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරවා ඉදිරි ළමා පරපුර දේශපාලන අතකොලු කර ගැනීමෙන් වළක්වා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
තවද ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද එම පාද යාත්‍රාවේදී දරුවකු වැරදි දේ සඳහා යොදා ගැනීම පිළිබඳ කමිටුවක් පත්කර පරීක්ෂණයක් සති දෙකක් ඇතුළත සිදු කිරීමට කටයුතු කරන ලෙසට ද එම සංවිධානය රජයෙන් ඉල්ලා තිබේ.
මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයට අමතරව ළමා අයිතීන් සම්බන්ධව කටයුතු කරන තවත් සංවිධාන රැසක් ඒකාබද්ධ විපක්ෂය විසින් දරුවකු දේශපාලනයට යොදා ගැනීමේ ක්‍රියාව පිළිකුල් කරමින් වෙබ්අඩවි ගණනාවක් විවිධ ප්‍රකාශ පළකර තිබිණි.
මැතිවරණ කාලයක් ආසන්නයේදී දරුවන් දේශපාලන වැඩවලට යොදා ගැනීම බරපතළ වරදක් වනවා මෙන්ම එම දරුවාගේ හෝ දෙමාපියන්ගේ කැමැත්ත මතද එසේ දරුවන් යොදා ගැනීම වරදක් බවත් දරුවකු වැරදි දෙයකට යොදා ගැනීම ද දණ්ඩ නීති සංග්‍රහයට අනුව ද වැරැද්දක් බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් තවදුරටත් කියා සිටියේ ලැබී ඇති පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ සිදු කරන බවයි.
COMMENTS