ලලිත් හා කුගන් යන දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩුව ඊයේ (12) වි...
ලලිත් හා කුගන් යන දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩුව ඊයේ (12) විභාගයට ගැණුනු අවස්ථාවේදී නඩුවට අදාල පොලිස් නිලධාරියා නොපැමිණීම හේතුවෙන් එම නඩුව ලබන දෙසැම්බර් 02 දක්වා කල් දමා තිබේ.
මේ දෙදෙනා අතුරුදහන් වූයේ පසුගිය 2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා යාපනයේදීය.
ඒ, යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන ලෙස රජයට බල කරමින් යාපනයේදී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ගිය අවස්ථාවකදීය.
ලලිත්ගේ පියා වන ආරුමුගම් විජයරාසා මහතා ප්‍රකාශ කරන්නේ තම පුතු සහ කුගන් නමැත්තා යාපනයේදී පැහැරගෙන ගිය බවට සාක්ෂි ලැබී ඇති බවයි.
එමෙන්ම තවමත් ඔවුන් දෙදෙනා ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන්නේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹදී කළ ප්‍රකාශය මත යැයි ද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
හිටපු අමාත්‍යවරයෙකු හා හිටපු කැබිනට් ප්‍රකාශකවරයා වූ කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලලිත් හා කුගන් යන දෙදෙනා අතුරුදහන් වීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ වග උත්තරකරුවෙකු වූයේ ද ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි.
එහි පසුබිම ගැන දැනගැනීමට ලලිත් හා කුගන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නුවන් බෝපගේ මහතාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ ලලිත් හා කුගන් අතුරුදහන් වී දින 06කට පසුව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් ඔවුන් දෙදෙනා සිටින බවට ප්‍රකාශයක් කළ බවයි.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාගැනීම පිණිස හිටපු අමාත්‍යවරයාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින මෙන් විනිසුරුවරයා අවස්ථා දෙකකදීම නියෝග කළත් ඔහු අධිකරණයට නොපැමිණීම නිසා ඔහුට වරෙන්තු ද නිකුත් කර තිබේ.
නීතිඥවරයෙකු මාර්ගයෙන් ඔහු අධිකරණ ඉදිරිපත් වීමෙන් පසුව නඩු වාර දෙකකදීම ඔහු සාක්ෂි දෙමින් ප්‍රකාශ කොට ඇත්තේ එවකට සිටි ආරක්ෂක ප්‍රධානීන්ට හා වෙනත් වගකිව යුතු නිලධාරීන්ට ලැබී තිබුණු තොරතුරු මත තමන් එම ප්‍රකාශය කළ බවයි.
එවැනි ප්‍රකාශයක් කිරීමෙන් පසුව ලලිත් හා කුගන් යන දෙදෙනාට සිදු වූ දේ පිළිබදව තමන් කිසිවක් නොදන්නා බව ද ඒ මහතා පවසා ඇති අතර ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීම දැනට අවසන් වී ඇත.
දිනසේන රතුගමගේ
COMMENTS