ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙරාතුව බීබීසී සේවය විශේෂ වාර්තාවක් පළ කර තිබේ. චීනය විසින...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙරාතුව බීබීසී සේවය විශේෂ වාර්තාවක් පළ කර තිබේ.
චීනය විසින් මෙරට සිදු කරන ආයෝජන හා ණය ලබා දීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනට වසර කිහිපයකට පෙර පළ කරන ලද අදහස් කිසිදු වෙනසකින් තොරව ඔවුන් විවේචනාත්මක හැඩයකින් ඉදිරිපත් කර ඇත.
අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.
**********
ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා පත්වූ වහා ම සුබපැතුම් පණිවුඩ එවූ ප්‍රධාන රටවල් දෙකක් විය.
ඉන් එකක් අප අසල්වැසි ඉන්දියාව වන අතර, අනෙක් රට වන්නේ අපගේ විදෙස් ණයවලින් 50%කටත් වැඩි ප්‍රමාණයක ණය හිමියා වන චීනය යි.
2023 වසරේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගන්නා විට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 46.9ක් වූ අතර එයින් 52%ක ණය හිමියා වූයේ චීනය යි.
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වූ පසු විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා ණය හිමියන් සමග සාකච්ඡා පැවැත්වූ අතර, අන් ණය හිමියන්ට සාපේක්ෂව චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාව පළ කළේ සැලකිය යුතු කාලයකට පසුව ය.
මෙවැනි පසුබිමක් ඇති ශ්‍රී ලංකා-චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උදෙසා 2024 සැප්තැම්බර් මාසයේදී නව ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට චීනයේ නිල සංචාරයක නිරතව සිටී.
ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යපෘති විශාල සංඛ්‍යාවකට ආයෝජනය කර ඇති චීනයේ ව්‍යපෘති රට පුරා පැතිරී තිබේ.
මෙම චීන ව්‍යාපෘති පසුගිය කාලයේදී බෙහෙවින් කතාබහට ලක්ව තිබිණි.
මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ විමසා බැලීමකි.
ශ්‍රී ලංකාව චීනය සමග රාජ්‍ය මට්ටමේ සම්බන්ධතා පවත්වන්නේ ඈත අතීතයේ පටන් ය.
මෑත අතීතයේ ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පැවති සම්බන්ධතා අතර සුවිශේෂී සලකුණක් වන්නේ දෙරට මැදිහත්ව 1952 දී එළඹුණු රබර්-සහල් ගිවිසුම යි.
එහිදී ශ්‍රී ලංකාවෙන් චීනය වෙත රබර් යවා චීනයෙන් සහල් ලබා ගන්නා ලදී.
1957 දී චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාවර විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා චීන ආධාර ලබා දීම ආරම්භ වී ඇත්තේ, 1970 මුල් භාගය තුළ ය.
එයින් ඇරඹුණු චීන ආධාර සහ ණය මේ වන විට ශ්‍රී ලංකාවේ ණය පංගුවෙන් වැඩි ම කොටසට හිමිකම් කියයි.
චීනයේ ණය මුදල් යෙදවීමෙන් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 5ක් යටතේ වෙන් කර දැක්විය හැකි ය.
මහා මාර්ග සහ ප්‍රවාහන
විදුලි බල හා බලශක්ති
වරාය
වාරිමාර්ග සහ ජල සැපයුම්
ගුවන් තොටුපොළ
ශ්‍රී ලංකා රජය සහ චීනය අතර දීර්ඝ කාලීනව පැවති සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස බණ්ඩාරනායක පාලන සමයේ සිට මෙරටට අවස්ථා රැසකදී චීන ආධාර ලැබී තිබේ.
ඒ අතරින්, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තට්ටු 9ක ගොඩනැගිල්ල, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය, කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ආදී ව්‍යාපෘති රැසක් සුවිශේෂී වේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම සඳහා ද චීනයේ ආධාර ලැබිණි.
මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් රට තුළ සැලකිය යුතු විරෝධයක් පළ නොවූ අතර, විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී චීනයෙන් ණය ලබාගෙන කරන ලද ව්‍යාපෘති රැසක් කෙරෙහි විපක්ෂයේ මෙන් ම ජනතා විරෝධය ද පළ විය.
එම ව්‍යාපෘති අතර, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ වරාය නරගය, හම්බන්තොට නැව් තටාකාංගණය, නෙළුම් පොකුණ රඟහල, නෙළුම් කුලුන, හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති දැඩි කතාබහට ලක්විය.
මෙම ව්‍යාපෘති හරහා සිදුවූ අයථා ගනුදෙනු, මූල්‍ය අක්‍රමිකතා ආදී විවිධ ගැටලු සම්බන්ධයෙන් එවකට විපක්ෂය නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කළේ ය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ වත්මන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ද පෙත්සමක් ගොනු කර තිබිණි.
සමස්තයක් ලෙස ගත් කල, චීන ණය හෝ ආධාර මත ශ්‍රී ලංකාව පුරා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර හෝ කරමින් තිබේ.
ඇමෙරිකාව සහ අනෙකුත් බලවත් රටවලට වඩා චීනය අවම වශයෙන් දෙගුණයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලොව පුරා සංවර්ධන කටයුතු සඳහා බෙදා හරින බව නවතම සාක්ෂි අනුව පෙනී ගොස් තිබේ.
එයින් වැඩි ප්‍රමාණයක් චීන රාජ්‍ය බැංකුවලින් ණය ලෙස අධික පොළී අනුපාත යටතේ ලබා දී ඇත.
මින් කෙටි කලකට පෙර චීනය විදේශ ආධාර මත යැපුණ ද, දැන් ඒ සියල්ල කණපිට පෙරළී තිබේ.
වසර 18ක කාලයක් තුළ රටවල් 165ක ඇමෙරිකානු ඩොලර් බිලියන 843ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති 13,427කට චීනය මුදල් ලබා දී හෝ ණය ලබා දී තිබෙන බව ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්වවිද්‍යාලයේ AidData පර්යේෂණාගාර දත්තවලින් හෙළි වී ඇත.
මේ අතර, චීනයේ ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය’ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් “ණය උගුලක” පටලැවීමට ගන්නා උත්සහයක් ලෙස ද ඇතැම් විශ්ලේෂකයින් සැක පළ කර තිබේ.
2012 වසරේදී බලයට පත් වූ දා සිට, ජනාධිපති ෂී ජින්පින්ග් චීන නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම සහ රටට ගෝලීය වශයෙන් ඇති බලය ඉහළ නැංවීම සඳහා ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය’ ප්‍රවර්ධනය කර තිබේ.
චීන රජය සතු ව්‍යාපාර, චීනය අපනයනය මඟින් රැස් කරන අරමුදල් ආයෝජන කර මුදල් සෙවීමට සහයෝගයෙන් කටයුතු කර ඇත. ඒවා එක්ව ගෝලීය දකුණේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ද අනුමැතිය ලබා දී ඇත.
‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය’ යටිතල පහසුකම්වලින් ඔබ්බට යමින්, ඩිජිටල් තාක්‍ෂණය, ආරක්‍ෂාව සහ තිරසර සංවර්ධනය ද ඇතුළත් කිරීමට එහි අරමුණ පුළුල් කර ගෙන තිබේ.
චීනයේ ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය’ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් “ණය උගුලක” පටලැවීමක් ද?
නිල දත්තවලට අනුව චීනය ‘එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතයේ’ කොටසක් ලෙස ව්‍යාපෘති 3,000කට වැඩි ගණනක ආයෝජනය කර ඇත.
ඉන්දුනීසියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, සෞදි අරාබිය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, පේරු, ලාඕසය, ඉතාලිය, නයිජීරියාව, ඉරාකය, ආර්ජන්ටිනාව සහ චිලී යනු අරමුදල් ලැබෙන ප්‍රමුඛ රටවල් 15 බව ඇමෙරිකානු ව්‍යවසාය ආයතනය (American Enterprise Institute) පවසයි.
ගෝලීය ආර්ථික මන්දගාමීත්වය, ඉහළ යන පොළී අනුපාත සහ ඉහළ උද්ධමනය නිසා ඇතැම් රටවල චීන ණය ආපසු ගෙවීමේ දුෂ්කරතා තීව්‍රවී තිබේ. ඩොලර් බිලියන ගණනක ණය ගෙවීම් අකර්මණ්‍ය වී ඇති අතර සංවර්ධන ව්‍යාපෘති ද මඟ නැවතී ඇත.
2022 වසරේදී බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය එක් උදාහරණයකි. චීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකිවූ බැවින් 99 වසරක බදු පදනම මත වරාය චීනයට පවරා දී තිබේ.
ශ්‍රී ලංකාවේ චීන යෝජනා මත සිදු කළ බොහෝ ව්‍යාපෘතිවලට මෙම විවේචනය එල්ල වී ඇති අතර, ඒවා බොහොමයක් සිදු කල වියදම් පියවීමට තරම් අදායම් උපයන්නේ නැත.
එමෙන් ම මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් ද චීන සමාගම් විසින් ද සිදු කරනු ලබයි. 2023 වසරේදී කොළඹ වරාය නගරයට චයිනා හාබර් ඉන්ජිනේරු සහයෝගීතාව විසින් සිදු කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සම්බන්ධයෙන් බීබීසී සිංහල වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරාගෙන් එම වසරේදී සිදු කළ විමසීමකදී මහාචාර්යවරයා ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ය.
“චීන ආයෝජනයෙන් අපිට කිසි ම වක්‍ර ප්‍රතිලාභයක් නැහැ. චීනය එනකොට අපි දැකපු දෙයක් තමා. ඒ මිනිස්සු වාහන ටික ගේනවා. කම්කරුවෝ ගේනවා. සිගරට් එක, ටොයිලට් පේපර් එක පවා ගේනවා. ඒක රටේ ආර්ථිකයට කිසි ම ආකාරයකින් මුදල් කාන්දුවීමක් සිද්ධ වෙන්නේ නැහැ චීන අයෝජනය තුළ. ඒ වගේ එකකින් අපි හිතනවා නම් රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා. මම හැතින්නේ නැහැ. අපි මේ තැනට පත්වුණේ චීන අයෝජනය නිසා බව අපි මතක තියා ගන්න ඕනේ. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න කියන්න ඕනේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල්වලින්.”
වරාය නගරය ඇතුළු චීන ආයෝජන මත සිදු කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් වර්තමානයේ පාලන බලය හිමි කරගෙන සිටින ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශවයක් වන ජනතා විමුක්ති පෙරමුණ මීට වසර කිහිපයකට පෙර ඍජුව සිය විරෝධය පළ කළේ ය.
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක 2015 පෙබරවාරි 8 වන දින තංගල්ලේ පැවති ජන රැළියකදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
“ලංකාවේ පළවෙනි වතාවට කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපිට අක්කර 575ක් චීනට ගොඩ කරලා චීන දුපතක් හදන්න දුන්නා. අපේ රටේ කුඹුරක් ගොඩකරන්නත් නීතියක් තියෙනවා. අපේ රටේ මඩ වගුරක් ගොඩකරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නෑ,” ඔහු පැවසුවේ ය.
“පළමුවෙන් ම රටේ මුහුද ගොඩනගා ගන්නවා නම් නීතියක් හදාගන්න ඕනේ. පර්යේෂණ වාර්තාවක් හැදුවේ නෑ. අක්කර 575ක් ගොඩට එන්න පතුලේ අක්කර 1000ක්වත් තියෙන්න ඕනේ. ගල් විතරක් කියුබ් කෝටි 12ක් ඕනේ. රාජිත සේනාරත්න කිවුවා මේ ව්‍යාපෘතිය දිගට ම කරන යනවා කියලා. ඕකට නෙවෙයි රාජපක්ෂලා පරාජය කළේ. මහා මුහුද ගොඩ කිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා වන බලපෑම ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි සිදු කරනවා,” යනුවෙන් වත්මන් ජනාධිපතිවරයා 2015දී තංගල්ලේ පැවති ජන රැළියකදී අදහස් දැක්වුවේ ය.
2021 වසරේ අප්‍රේල් 16 වන දින පැවති මාධ්‍ය හමුවකදී ද වත්මන් ජනාධිපතිවරයා චීන ආයෝජන සම්බන්ධ විරෝධය පළ කළේ ය.
“චයිනා හාබර් සමාගමේ ඉල්ලීම සහ ඔවුන්ගේ බලකිරීම මත තමයි ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සිදු කරන්නේ. මෙම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයට අනුරූපීව පිහිටුවන්නක් නොවෙයි. චීනයේ ජාත්‍යන්තර, ආර්ථික, දේශපාලන උවමනාවන් පෙළ ගැහීමක් ලෙස තමයි ආර්ථික කොමිෂන් සභාව යෝජනා වෙන්නේ,” ඔහු එහිදී පැවසී ය.
“චීනය තමාගේ භූ දේශපාලනික උපාය මාර්ගය වෙනුවෙන් සකස් කරපු ව්‍යාපෘතියකට තමයි මේ පනපොවන්න හදන්නේ,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
කෙසේ නමුත් දෛවෝපගත ලෙස එලෙස වසර කිහිපයකට පෙර විරුද්ධ වූ ව්‍යාපෘති වන ‘එක් මාවතක්, එක් තීරයක්’ යටතේ සිදු කරන කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති දිගට ම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුර චීන සහ ශ්‍රී ලංකා රජයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
– BBC
COMMENTS