කොරෝනා සමයේදී බිලියන ගණනින් ලාභ ඉපැයූ දැවැන්ත සමාගම් සහ ඒවායේ හිමිකරුවන්ගෙන් විශේෂ බද්දක් අයකර ගන්නා ලෙස ඉන්දීය ජනතාව එරට රජයට දැනුම්දී ඇත...
කොරෝනා සමයේදී බිලියන ගණනින් ලාභ ඉපැයූ දැවැන්ත සමාගම් සහ ඒවායේ හිමිකරුවන්ගෙන් විශේෂ බද්දක් අයකර ගන්නා ලෙස ඉන්දීය ජනතාව එරට රජයට දැනුම්දී ඇති බව ‘යාහූ’ පුවත් සේවය වාර්තා කොට ඇත.
එම පුවත මගින් පෙන්වා දී ඇත්තේ පසුගිය කොරෝනා කාලසීමාවේදී ඉන්දියාවේ දැවැන්ත සමාගම් රැසක් අධික ලාභ උපයමින් විශාල ධනයක් රැස්කර ගනිද්දී මිලියන 160කට අධික ජනතාවක් දරිද්‍රතාවේ රේඛාවෙන්ද පහළට වැටී ඇති බවකි.
මේ හේතුවෙන් අධික ලාභ ඉපැයූ එම සමාගම්වලින් විශේෂ බද්දක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත්, ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් විසින් පෙබරවාරි පළමුවැනි දින ඉදිරිපත් කිරීමට නියමිත එරට 2022-2023 අයවැයේදී එය යෝජනාවක් ලෙස ඇතුළත් කළ යුතු බවත් ඉන්දීය ජනතාව යෝජනා කොට ඇත.
මෙසේ කොරෝනා සමයේදී අධික ලාභ ඉපැයූ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ මුඛේෂ් අම්බානිගේ ‘රිලයන්ස්’ සමාගමය. එම කාලසීමාවේදී පමණක් ඔවුන්ගේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 179 සිට 334.97ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් අනතුරුව සිටින්නේ ගෞතම් අදානිගේ ‘අදානි’ සමාගමය.
මේ අතර මෙම තොරතුරු ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කොරෝනා සමයේදී අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත් ලංකාවේ ඇතැම් සමාගම්වලින්ද මෙවැනි ආකාරයේ බද්දක් පනවා මුදල් අයකරගත යුතු බවට බොහෝ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
පසුගිය කොරෝනා සමයේදී ලංකාවේ සමාගම් කිහිපයක්ද අතිවිශාල ලාභ ලැබූ අතර ඔවුන් ඒවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමටද කටයුතු යොදා තිබිණි.
මේ හේතුවෙන් එවැනි අසීමිත ලාභ ඉපැයූ එම සමාගම්වලට කොරෝනා බද්දක් පනවා එම මුදල් මේ වන විට කොරෝනාවෙන් ඉතා දැඩි ලෙස පීඩා විඳින සාමාන්‍ය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවිය යුතු බවද ඔවුන්ගේ යෝජනාව වී ඇත.

COMMENTS