ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්...
ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුව, දෙපාර්ශ්වය සමථයකට පත්ව අවසන් කර තිබේ.
ඒ, පෙරේදා (11) දිනයේදී බදුල්ල සමථ මණ්ඩලයේදී ය.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී භවානි රඝුනාදන් මහත්මිය විසින් බදුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙහි මුලින්ම මෙම නඩුව ගොනු කර තිබුණු අතර පසුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නඩුව සමථ මණ්ඩලයට යොමු කර තිබිණි.
පෙරේදා දිනයේදී දෙපාර්ශ්වයම සමථ මණ්ඩලය හමුවට කැඳවූ අවස්ථාවේදී භවානි රඝුනාදන් මහත්මිය මෙම නඩුව සමථයකට පත්කර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණු අතර චාමර සම්පත් මහතා ද ඊට එකඟ වූ හෙයින් නඩුව සමථයකට පත්ව අවසන් කර ඇත.
මෙයින් අනතුරුව විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙම නඩුව ගොනු කළේ තමන්ගේ වුවමනාවට නොව වෙනත් කිහිපදෙනෙකුගේ බලපෑම් මත බවත් චාමර සම්පත් මහතා ඔහුට වඳින්නැයි තමන්ට අණකිරීමක් සිදු නොකළ අතර තමන් ඒ මහතාට ආචාර කළ බවත්ය. එසේම මෙයින් චාමර සම්පත් මහතාට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කර තිබිණි.
COMMENTS