ඌව වෙල්ලස්ස බින්තැන්න කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක වටිනා සාරවත් ඉඩම් අක්කර 65000 ක් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට වර්තමාන ආණ්ඩුව ද ස...
ඌව වෙල්ලස්ස බින්තැන්න කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක වටිනා සාරවත් ඉඩම් අක්කර 65000 ක් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට වර්තමාන ආණ්ඩුව ද සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරයි.
එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරන්නේ ඩොලර් වෙනුවෙන් ඌව වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට දීමට නැවතත් සැලසුම් සකස් වෙමින් ඇති බවයි.
මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
——–
ඩොලර් වෙනුවෙන් ඌව වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට දීමට නැවතත් සැලසුම්
ඌව වෙල්ලස්ස බින්තැන්න කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක වටිනා සාරවත් ඉඩම් අක්කර 65000 ක් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට වර්තමාන ආණ්ඩුව ද සූදානම් වෙයි.
2006 දෙසැම්බර් 6 වන දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන කාලයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට මුලින්ම මේ ඉඩම් බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වූ බූකර්ට්‍රේට් සමාගමට ලබාදීමට එවකට පැවති රජය උත්සාහ ගත්තේය.
ඉන් අනතුරුව බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙකී ඉඩම් සිංගප්පූරුවේ gazal ventures බහුජාතික සමාගමට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තේය. පෙරකී සමාගම් දෙකම ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ප්‍රධාන කාර්යාලයක් ද බිබිල කේන්ද්‍ර කරගනිමින් තවත් කාර්යාල ද විවෘත කර ගනිමින් මෙම ඉඩම් කොල්ලයට සුදානම් විය.
මේ සියලු උත්සාහයන් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ ලෙස මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් මේ රටේ පරිසර වේදීන් හා පරිසර සංවිධානවල සහාය ද ගනිමින් පසුගිය වසර පහළොවක් පුරාවට අප පරාජය කර තිබේ.
ජනාධිපතිවරු දෙදෙනෙක් ගත් උත්සාහයක් පරාජය කළ අපට තුන්වන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ යටතේද මෙම ඉඩම් කොල්ලය පැරදීවීමට දැන් සිදුවී ඇත.
මෙම ඉඩම් දඹාන, පොල්ලෙබැද්ද, රතුගල, ආදිවාසී ජන කොට්ඨාස තුන භුක්ති විඳින මෙන්ම ප්‍රදේශය සාමාන්‍ය ගොවිජනතාව භුක්තිවිදින ඉඩම් ද වේ. නිල්ගල ඖෂධ වනය, මාදුරුඔය රක්ෂිත වනය, සේනානායක සමුද්‍රයේ රක්ෂිත වනාන්තර , ප්‍රධාන රක්ෂිත වනාන්තර ගණනාවක ප්‍රේරණ කලාපයන්ගේ ඉඩම් ද මෙලෙස ගොදුරු කර ගැනීමට නියමිතව ඇත.
මෙම සමාගමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට යෝජිත අක්කර 372 ක ඉඩම තුළ , පුරාවිද්‍යාත්මක ස්ථාන හතක් හඳුනාගෙන තිබේ. ඒ අතර ස්ථූප ගොඩැල්ලක්, කටාරම් සහිත ගල් ලෙනක් මුරගල්, සඳකඩ පහණ අවශේෂ මේ බිම තුළ හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ස්වභාවික විශාලතම කටුඋන ප්‍රජාව මේ තුළ පිහිටා තිබේ. ගලඔය, මාදුරාඔය, උල්හිටිය ඔය, හෑපොල ඔය ආදී ප්‍රධාන ජල පෝෂිත ප්‍රදේශ මෙම අක්කර 65000 තුල පිහිටා තිබේ.
මීට එරෙහිව අරගල කරන අප හට මහියංගන උසාවියේ නඩු 52 පසුගිය කාලය තුළ රජය විසින් ගොනුකළ අතර, මේ විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත්වීමෙන් බදුල්ල මහධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු කීපයක්ද ගොනු කර තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් ප්‍රදේශයේ අහිංසක ගොවි ජනතාවගේ ඉඩම් සංවර්ධනය උදෙසා මේ මොහොත වන විටත් අතහිත දෙමින් තිබේ. මෙසේ තිබිය දී රජය මහා පාරිසරික විනාශයකට මග පාදමින් ඇත .
අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශයක් වන මෙහි මෙවැනි දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකරමින් සමාජ ආර්ථික ගැටලු නිර්මාණය කරන මෙවැනි ව්‍යාපෘතියකට කිසිසේත් ඉඩදිය නොහැක.
වර්තමාන රජය යටතේ ද නැවතත් බහුජාතික සමාගමක් සඳහා මෙම ඉඩම් ලබාදීමේ සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. රටේ සම්පත් එකිනෙක විකුණා දමමින් ඩොලර් සොයන ආණ්ඩුව ඓතිහාසික ඌව වෙල්ලස්ස බින්තැන්නේ වටිනා ඉඩම් කුණු කොල්ලයට කොල්ලකෑමට මේ ගන්නා උත්සාහය පැරදීම වෙනුවෙන් ඊයේ දින අප සංවිධානය යෝජිත කර්මාන්ත ශාලා භූමියේ ජනතාවගේ ගොවිබිම් මධ්‍යයේ සිට විරෝධතාවයක් දක්වමින් රට දැනුවත් කිරීමක නිරත විය.
COMMENTS