කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ...
කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහන් කරයි.
කොරෝනා ආසාදනය වී සති 2 - 6ක් පමණ කාලයක් ගතවන විට එම Multi System Inflammatory Syndrome නැමති නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා බවද එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොඳුරු වී සිටීම එහි ඇති බරපතළ තත්ත්වය වන බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.
මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා කියා සිටියේය.
කිතුල්වත්ත මහතා සඳහන් කළේ උණ, දැඩි ඇඟේ පතේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම සහ සමේ ඇති වන දද එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවය.
"මේකේ භයානක තත්ත්වය තමයි මේක හෘදය වස්තුවට බලපාලා, රුධිර පීඩනය අඩු වෙලා සමහර වෙලාවට මිය යාමට පවා ඉඩ තියෙනවා. අපි දැනට දන්නවා රෝගය වැළඳුණ ළමයි කිහිප දෙනෙක් ම අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ලංකාව පුරා තැන් තැන්වලින්. ඒ නිසා මේක රට පුරා ම පැතිරෙන්නට ඉඩ තියෙනවා. දැනට අපි දැකලා තියෙන හැම රෝගියෙක් ම කොවිඩ්වලට සම්බන්ධයි. අපි කොවිඩ් හඳුනා ගන්න ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි කොවිඩ් ඇන්ටිජන් එකක් අපිට කරලා බලන්න පුළුවන්. දෙවනි එක තමයි පී.සී.ආර්. ටෙස්ට් එකක් කරලා බලන්න පුළුවන්. තුන්වන එක තමයි, ඇන්ටිබොඩි කියලා අපි පස්සේ කරබවා ප්‍රතිදේහ හඳුනා ගැනීමේ පරීක්ෂණයක්.මම මේ කතා කරන ළමයි 6 දෙනා ම මේ එකක් හෝ ටෙස්ට් එකක් පොසිටිව් වෙලා තියෙනවා. ඒකේ තේරුම මේ ගොල්ලන්ට කොවිඩ් වැළඳිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කවදා ද වැළඳුනේ කියන එක අපි හරියට ම දන්නේ නෑ. සමහර අයට දැනටත් රෝග ලක්ෂණ තියෙනවා. සමහර වෙලාවට කවුරුත් දන්නෙත් නෑ, අම්මලා දන්නෙත් නෑ, නමුත් නොදැනුවත්ව ම, මොක ද ළමයින්ගේ වැඩි පිරිසකට කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයේ තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නෑ මේ දරුවන්ට කොවිඩ් තිබුණා ද කියලා."
COMMENTS