පසුගියදා (09) මාවනැල්ල ප්‍රදේශයේ තිස් හත් හැවිරිදි තිදරු පියෙක් වන එච්. ආර්. එම්. මොහොමඩ් නස්ලීම් මහතාට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ව...
පසුගියදා (09) මාවනැල්ල ප්‍රදේශයේ තිස් හත් හැවිරිදි තිදරු පියෙක් වන එච්. ආර්. එම්. මොහොමඩ් නස්ලීම් මහතාට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබේ.
වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නස්ලීම් මහතා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී ඔහුගේ හිසට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන අතර ඊයේ (10) වන විටත් ඔහු සිහිය නොමැතිව දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
නස්ලීම් මහතාට වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ ඊයේ (10) විමර්ශනය ආරම්භ කර ඇත.
වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නස්ලීම් මහතා උනාගම මුස්ලිම් පල්ලියේ සංගමයේ සභාපතිවරයාද වේ. ඒ මහතා සමාජ සේවා සංවිධාන රැසක තනතුරු හොබවන ප‍්‍රදේශයේ සියලූ ජාතීන් අතර සහයෝගයෙන් කටයුතු කළ අයෙකි.
ඒ මහතාට වෙඩි තැබීමට පෙරදින (08) පල්ලියේ ආගමික වතාවත් වලින් පසුව පැවති රැස්වීමේදී ප‍්‍රදේශයේ මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය තුරන් කළ යුතු බවත් ඒ සඳහා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල සහාය ලබාදිය යුතු බවත් ඔහු පැවසූ බව ප‍්‍රදේශවාසීහු පවසති.
පොලීසිය පවසන පරිදි වෙඩි තැබීම සඳහා දෙදෙනෙකු පැමිණ ඇති අතර කළු පැහැති යතුරු පැදියකින් ඔවුන් පළා ගොස් ඇත.
නස්ලීම් මහතා සිය නිවසේ නිදා සිටින අතරතුර නිවසේ පිටුපස දොරටුවෙන් ඇතුළු වූ සැකකරුවන් නස්ලීම් මහතාගේ හිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. නස්ලීම් මහතා නිදාගෙන සිටි ඇඳේ කොට්ටය මත තිබී පිස්තෝලයකින් නිකුත් වූ උණ්ඩයක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මීට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කළ පුද්ගලයන් කොටු කර ගැනීම සඳහා යොදවා තිබු විශේෂ පොලිස් කණ්ඩායමට සහය දක්වා ඇත්තේ නස්ලීම් මහතා බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් අප වෙත පවසා සිටියේය.
මෙම වෙඩි තැබීම පිටුපස කිසියම් ආගමික අන්තවාදී කල්ලියක සම්බන්ධයක් තිබේ දැයි සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
නස්ලීම් මහතා කබීර් හෂීම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ද වේ.
සබැඳි පුවත් : http://am.lk/local-news/item/40634-7
COMMENTS