තම නඩු කටයුතු ප්‍රමාද වීම හා පිටතින් රැගෙන එන ආහාර ඇතුළු ද්‍රව්‍ය සීමා කිරීමට පාලනාධිකාරිය ගත් තීරණයට විරෝධය පළකරමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධ...
තම නඩු කටයුතු ප්‍රමාද වීම හා පිටතින් රැගෙන එන ආහාර ඇතුළු ද්‍රව්‍ය සීමා කිරීමට පාලනාධිකාරිය ගත් තීරණයට විරෝධය පළකරමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවූවන් පිරිසක් වහලය මත නැගී ආරම්භ කළ විරෝධය මේ වන විටත් ක්‍රියාත්මක වේ. විෂයභාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ කුමන ආකාරයෙන් විරෝධතා පැවතිය ද ක්‍රියාත්මක කර ඇති නීති රීති කිසි ලෙසකින් වෙනස් නොකරන බවයි. විරෝධතාවයේ නිරතව කාන්තා රැඳවුවන් සහ තවත් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනකු තුවාල ලැබූ බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ 3425 ක පිරිසක් මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටියි. ඉන් 367 ප්‍රමාණය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ කාන්තා රැඳවියන්. එලෙස බන්ධනාගාරගත කළ රැඳවියන්ට පිටතින් ලැබෙන ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය තුළ සඟවාගෙන මත් ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුලට රැඟෙන එන බවට ලැබෙන පැමිණිලි හේතුවෙන් එම ද්‍රව්‍ය සීමා කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය පසුගියදා කටයුතු කරනු ලැබිය. මෙහිදී පිටතින් රැගෙන ආහාර දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර එවිට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ලැබෙන ආහාර ද්‍රව්‍ය ද යම් පාලනයකට ලක් කෙරිණි. මේ තීරණයට විරෝධය පළකරමින් කාන්තා රැදවියන් පිරිසක් ඉකුත් සෙනසුරාදා දිනයේ දී බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මෙවැනි පසුබිමක ඊයේ පෙරවරු 6.30 ට පමණ කාන්තා රැඳවියන් 25 දෙනෙකු බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක් ආරම්භ කළේය.
මෙලෙස විරෝධතාවයේ සිටින බොහොමයක් රැඳවියන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින අය බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වැලිකඩ බන්ධනාගාරයට යාබදව පිහිටා ඇති බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් ආරම්භ කළේය. ඔවුන් පැවසුවේ බන්ධනාගාරගතව සිටින තම ඥාතීන්ට එරෙහිව පවතින නඩු කටයුතු පමා කිරීමට එරෙහිව තමන් උද්ඝෝෂණයක නිරත වන බවයි.
චෝදනා යටතේ බන්ධනාගාර ගතව සිට නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගිය පිරිස් සිරගතව සිටි කාලය තුළ තමන් ලැබූ අත්දැකීම් මෙසේ පැවසීය.
“මම මිට අවුරුදු එකහමාරකට කලිනුත් හිරගෙදර හිටියා. කරන්න ඕනේ උපරිම දේවල් අපිට කළා හිරගේ ඇතුලේ. පෝලිම් බත් කන්න බැහැ අපිට. කෑමවල කෙස්, ඒත් කමක් නැහැ කියලා අපි කෑවා. නිදාගන්න තියෙන්නේ පොළවේ. එක තැනක 10ක් 15ක් එක දිගට නිදාගෙන ඉන්නවා. අතක් පයක්වත් දිග අරින්න විදියක් නැහැ. නාගන්නවත්, ටොයිලට් එකට යන්න විදියක්වත් නැහැ. ටොයිලට් ඒ තරමට පිරිලා තිබුණේ. අවුරුදු 2, 3 ඉඳලා මිනිස්සු ඉන්නවා ඇප දෙන්නේ නැහැ තවම. ගිය මාසේ තුන්දෙනෙක් විතර මැරුණා. දැන් විසිට් එක එක පාරයි බලන්න දෙන්නේ ඒකත් විනාඩි 10න් කෑම දුන්නා එලියට යැව්වා. ඒගොල්ලොන්ට දවසටම කන්න තියෙන්නේ එක කෑම වේලයි. හරියට වතුර නැහැ. වතුර නවත්තන්නේ පැයෙන් පැයට විතරයි. පැයක් ඇතුළත මුළු ඉන්න 300,400ම නාන්න ඕනේ."
COMMENTS